ආහාර පරිපචන ව්‍යූහාව

අජීර්ණය

අජීර්ණය යනු ආහාර  නොදිරවීමයි. ආයුර්වේද මතානු කූලව බොහෝ රෝගයන්ට හේතුව අජීර්ණය බව දක්වා ඇත. ආහාර දිරවීමට හේතු වන්නේ පිතයි. ආහාර දිරවීමට උදව් වන පිත, පාචක පිත හෙවත් පාචක අග්නිය වශයෙන් දක්වා ඇත. පාචක අග්නිය අඩුවීමෙන් අජීර්ණ ඇති වේ. පිතේ අඩුවීම මන්දාග්නිය නමින්ද හැදින්වේ.

බඩගිනි නැති විට අධික වශයෙන් ආහාර ගැනීමත්, භය, ශෝක, උද්වේගකර මානසික අවස්ථා වලදී ආහාර ගැනීමත්, නිතර නිතර ආහාර ගැනීමත් වැඩි වශයෙන් අජීර්ණ වලට හේතු වේ.

ආහාර ගැනීමට පෙර ඉගුරු කැබැල්ලක්, සහිද ලුණු සමග කෑමෙන් අජීර්ණය වලක්වා ගත හැක. අජීර්ණය ඇති විට අ‍ාහාර වේලක් හෝ දෙකක් මග හැරීම හොදම වෙද කමයි. උතුරුවා නිවා ගත් උණුවතුර නිතර පාවිච්චි කිරීමත්, බීමත් කදිම වෙයි. තැම්බුම් හොද්දක් බීමත් හොදය.

ඖෂධ

  1. උණු වතුර පානය කිරීම
  2. ආසන්න අ‍ාහාර වේල නොගැනීම
  3. තැම්බුම් හොදි බීම
  4. භාෂ්කර ලවන- ග්‍රෙන්ස් 20 සිට 40 දක්වා ගිතෙල් හෝ ‍ෙවඩරු සමග අනා කා උණුවතුර බීම.
  5. හිංගු අෂ්ඨක චූර්ණ ග්‍රෙන්ස් 20-40 දක්වා පානය. උණු වතුර සමග
  6. සතකුප්ප හෝ අසමෝදගම් තම්බා බීම.
  7. සුදුරු කබලේ බැද තම්බා බීම හෝ බැද කුඩු කර වරකට තේ හැදි 1ක් උණු වතුරට දම‍ා බීම.
  8. නිතර අජීර්ණයෙන් පෙලෙන්නන්ට පාවිච්චි කළ හැකි චට්නියක් - මින්චි, රට ඉදි, ගම්මිරිස්, සුදුළුෑණු, පෙරුංකායන් (රත් කර ගත යුතුය), වියළි මුද්දරස්පළන්, සුදුරු සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා ගත යුතුය. මෙය බත් සමග කෑ හැකිය. මෙය මුඛයේඅමිරස නැති කරයි. රුචිය ඇති කරයි.
  9. සුදුරු සුවර්ජීක්ෂාර සමග එකට අඹරා මදටිය 3-6 දක්වා ගැනීමෙන් බඩ පිපීම, අජීර්ණය හා වේදනාව සුව වේ.
  10. පංච කොළ චූර්ණය- එනම් තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය මුල්, රත්නිටුල්, වියළි ඉගුරු සමග ගෙන වියළා චූර්ණ කර මදටිය 6-8  දක්වා උණුවතුරෙන් ගැනීම.
  11. භාෂ්කර ලවන උණුදියෙන් දීම මදට 5-10 දක්වා හෝ බත් සමග කෑම.

 

අරුචි

ආහාර අප්‍රිය වීම අරුචි නම් වේ. මෙය අජීර්ණ නිසාත් ඇතිවිය හැකිය. එකම මාදිලියේ ආහාර ගැනීමත්, රසවත් නොවීමත්, ප්‍රිය පරිසරයක සිට ආහාර නොගැනීමත්, මීට හේතුවිය හැකිය. භය, ආදී මානසික හේතූන්ද මීට කාරණා වේ.

ලක්ෂණ

ආහාර අරුචිය, මුඛයේ කසාය රස දැනීම, හෘද ප්‍රදේශයේ වේදනාව, මුඛයේ විරස හා අමිරස දැනීම.

චිකිත්සා

  1. අමු ඉගුරු, සවිද ලුණු හෝ සීනි සමග කෑම.
  2. ඉගුරු යුෂ තේ හැදි 2 යි, මීපැණි තේ හැදි 1 යි මිශ්‍ර කර කෑමට පෙර බීම.
  3. දෙලුම් යුෂ, සවිද ලුණු, මීපැණි මිශ්‍ර කර ටික ටික බීම.
  4. කොත්තමල්ලි, එනසාල්, ගම්මිරිස්, චූර්ණ කර සීනි හා ගිතෙල් සමග මිශ්‍ර කර ටික ටික කෑම.
  5. දෙහි හෝ දොඩම් යුෂ, සීනි හ‍‍ා ලුණු ස්වල්පයක් සමග බීම.
  6. ලුණු අඹ, වියළි ඉගුරු, ගම්මිරිස්, දිවුල් මද, මී පැණියෙන් අඹරා කුඩා ගුලි සාදා පවනේ වියළා තබාගෙන කටේ තියාගෙන සිටීමෙන් අරුචි නැසේ.
    මෙය ආහාර වලට පසු ගැනීමෙන්ද ආහාර දිරවීමට පහසුවේ.
  7. මුඛයේ අමිරස නැති කිරීමට පහත දෑ ගෙන තම්බා කට සේදීම.
    කුරුදු පොතු, කොත්තමල්ලි, කලාඳුරු අල, තම්බා ගත් වතුර
    වෙනිවැල් ගැට, කුරුදු පොතු, සූදූරු තම්බා ගත් වතුර

අජිර්ණ හා අරුචි අවස්ථා වලදී විහරණ විධි

අජීර්ණ වැනි  අවස්ථා අ‍ාහාර පරිපචන ව්‍යුහාවේ ඇතිවන රෝග අවස්ථාවන්ය. ආයුර්වේද වෛද්‍ය මතය අනුව සියළුම රෝග වලට හේතුව ආහාර දිරවීමේ ක්‍රියා පිළිවෙල වෙනස් වීමයි. ඉන් අජීර්ණ අවස්ථා බහුලව ඇතිවන නමුත් එහි ඇති බැරෑරුම් කම නොසලකා හැරීමට අප පුරුදු වී සිටිමු. අජීර්ණයක් ඇතිවිට පවා අප ගන්නා ආහාර  පාන වල වෙනස් කම් කිරීමට සමහරු කැමති නැත. යම් විශේෂ ආහාර ගත් විට  පවතින අජීර්ණ තත්වය පවා නොසලකා එම ආහාරය භුක්ති විද සුළු අසනීපය මහත් අසනීපයක් බවට පත් කර ගනිති. මේ නිසා අජීර්ණ අරුචි අවස්ථා වලදී සාමාන්‍ය අ‍ාහාර ගැනීම්, හැසීරීම් ආදී ක්‍රියා පිළිවෙලවල් වෙනස් කරගත යුතුය.

  1. විවේකව හිදීම.
  2. දිරවීමට අපහසු තෙල් මිශ්‍ර තෙම්පරාදු කළ ආහාර, බැදුම් වර්ග අත් හැරීම.
  3. වරින් වර උණු දිය බීම
  4. නෑම සහ කය වෙහෙසා කටයුතු කිරීමෙන් වැළකීම.

 

අතීසාරය

ද්‍රව මල අධිකව පිටවීම අතිසාරය නමි. අතීසාරයට ප්‍රධාන හේතු නම් අජීර්ණ, අජීර්ණ අ‍ාහාර විෂ වීම, විෂ ශරීර ගත වීම, අපිරිසිදු ජලය බීම, බඩවැල් වල  සෙම් සිවිය ඉදිමීම, උදර ක්‍රීමි ආදිය වේ. අධික බය, ශෝක නිසාත් අතිසාරය ඇති වේ. වෙනත් රෝගයක උපද්‍රවයක් වශයෙන්ද මෙය ඇතිවේ.

ආයුර්වේදයට අනුව අතීසාරයේ නොපැසුණු (ආම) හා පැසුණු (නිරාම) යනුවෙන් අවස්ථා දෙකකි. ලක්ෂණ වශයෙන් අධිකව ද්‍රව මල පිටවේ. උදර වේදනාව ඇති වේ. ශරීරයේ බර බව ඇති වේ.

චිකිත්සා

  1. ඝන ආහාර  වර්ග දීම නවත්වන්න.
  2. හැකිතාක් ද්‍රව ආහාර වර්ග දිය හැකිය. ඒ සදහා හාල් බැදි පොරි කැද, දෙළුම් යුෂ, දෙහි යුෂ ආදිය දිය හැකිය.
  3. තැම්බුම් හොදි දීම ඉතාමත් හොදය.
  4. දී පෙරලි දිය හෙවත් මුදවපු කිරි වල ඇති දියර කොටස ලුණු ස්වල්පයක් සමග දීම
  5. සීතාරාම ගුලි 4 ක් මී පැණියෙන් දීම.
  6. හීන් ගුලි 2 සිට 5 දක්වා ඉගුරු ඉස්ම, දෙහි ඇඹුල්, සාදික්කා මද ගලගා හෝ කල්කය සමග මිශ්‍රකර සීනි, මී පැණි දමා දීම.
  7. නවරත්න කල්කය මදටිය දෙකක ප්‍රමාණය, ගම්මිරිස්, සුදුළුෑණු තැම්බූ වතුර සමග පැයකට වරක් ගැනීම.
  8. බෙලිමුල්, කොත්තමල්ලි, වියළි ඉගුරු, ඉරිවේරිය, කලං 2 ක බැගින් ගෙන තම්බා බීම.
  9. අමු ඉගුරු, ඉරිවේරිය මිට බැගින් ගෙන කොටා මිරිකා, යුෂ පෙරා යකඩයක් ගිනියම් කර ඊට දමා දීම. ලේ මිශ්‍රණයක් තිබේනම් ඉගුරු අතහරින්න. ඒ වෙනුවට අතිවිඩයන් දමා දීම.
  10. වමන ඔක්කාර ගතියක් වේ නම් දෙහි පොතු අමු ඉගුරු කොටා කඩපිම්මේ තම්බා මිරිකා පෙරා මී පැණි දමා බීම.
  11. තේ කහට දෙහි යුෂ මිශ්‍රකර බීම.

 

අතීසාර විහරණ විධි

  1. ඝන ආහාර නොගත යුතුය.
  2. විවේකව හිදිය යුතුය
  3. තෙල් මිශ්‍ර ආහාර, කිරි ආහාර නොගත යුතුය
  4. අතීසාරයට කරන ලද බෙහෙත් වලින් ගුණයක් නොපෙනේ නම්  හෝ අධික වශයෙන් උදර වේදනාව, වමනය, මල කොටස් සමග ලෙය පිටවීම, උණ ඇතිවීම, ආදී සෙසු ලක්ෂණ පහළ වී නම්, වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ළදරු අතීසාරය

ළදරු අතීසාරයේදී ළදරු මරණ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පිටවන මල කොටස සමග දියර කොටස් පිටවී යාම නිසා වන නිර්ජලතාවය හෙවත් සිරුරේ දියර පදාර්ථය අතිශයින් හීන වී යාමයි. මේ නිසා එබදු නිර්ජලයතාවයක් ඇතිවේගෙන එන්නේ දැයි නිතර පරික්ෂාවෙන් සිටිය යුතුය. නිර්ජලයතාවය ඇති වන විට,

  1. සම වියළී යාම , හැකිලීම
  2. සමේ ඇදෙන ගතිය වැඩි වීම
  3. ඇස් යටට ගිලීම
  4. ළදරුවා නිතරම වියළි වූ විට දිව පිටතට දමමින් හැඩීම
  5. හිසේ තෙල් වල ගිලා බැසීම
  6. දෙනෙත් දීප්තිය නැති වීම

ආදී ලක්ෂණ පහළ වේ. මේ ලක්ෂණ පහළ වන විට ළදරුවාගේ හෘදය, මොළය, වකුගඩු ආදී ඉන්ද්‍රියන් අනතුරට මුහුණ පා ඇති බව තේරුම් ගත යුතුය. එහෙයින් වහාම ළදරුවා රෝහලක් වෙත ගෙන යා යුතුය.

අතීසාරය නිසා පහළ විය හැකි නිර්ජල්‍යතාවයෙන් ළදරුවා බේරා ගැනීමට ඉතා සුළු ප්‍රතිකර්මයක් කළහැකි වේ. ඒ සදහා පහත දැක්වෙන පානය සාදා ‍ ගෙන මිනිත්තු 10 කට පමණ වරක් තේ හැන්දෙන් 3-4 පමණ ළදරුවාට දින 2ක් 3ක් පමණ නොකඩවා දිය යුතුය. ඒ අතරතුර අතීසාරයට වෙනම බෙහෙත් වර්ග දිය යුතුය.

  1. ලුණු තේ හැදි 1ක්
  2. සීනි තේ හැදි 8ක්
  3. දෙහි යුෂ තේහැදි 1ක්
  4. මේ සියල්ල උණු කර නිවාගත් වතුර බෝතල් ¾ ක දිය කර ගන්න.

නොයෙක් හේතු නිසා ළදරු අතීසාරය ඇති වේ. ළදරු අතීසාරය වළක්වා ගැනීමට ඇති හොදම මාර්ගය නම් මව් කිරි දීමයි. පිටි  කිරි දීමේදි බෝතල් හොදින් නොසේදීම, නොතැම්බීම, අපිරිසිදුකම ආදී කරුණු නිසා නොයෙක් විෂ බීජ වර්ග ශරීර ගත විය හැකිය. සාමාන්‍යයෙන් උණේදිත්, දත් ඒම වැනි අවස්ථා වලදීත් අතීසාරය ඇතිවිය හැක. අතීසාරය ඇති විට හැකිතාක් ද්‍රව වර්ග දිය යුතුය.

ඒ සදහා

  1. හාල් බැදි කැද
  2. හාල් බැදි කැද සාදන විට ඊට කලාදුරු අලයක්, ගම්මිරිස් ඇට දෙක තුනක්, සුදුළූණු බිකක් හා, අමු ඉගුරු කැබැල්ලක් දමා තැම්බීම ඉතාම හොදයි.
  3. සුදුරු තැම්බු වතුර
  4. අළුත් වලං කෑලි වතුරට දමා, උනුකර නිවා ටික ටික පෙවීමෙන් නිර්ජලතාවයක් (ඩිහයිඩ්රජන්) ඇති නොවේ. මෙය ඉතා ප්‍රත්‍යක්ෂ වෙදකමකි.
  5. සුදුරු, අසමෝදගම්, බෙලිමල්, වියළි ඉගුරු, කලං ½ බැගින් ගෙන පත 4-1 ට සිදුවා, මී පැණි දමා ටික ටික බීම.
  6. සුදුරු, කොත්තමල්ලි, කලාදුරු අල, ඉරිවේරිය, කලං ½ බැගින් වතුර පත 2- ½ ට සිදුවා, මී පැණි දමා බීම.
  7. ඉගුරු අතිවිඩයන්, කලාදුරු අල, ඉරි‍ෙව්රිය, කෙලිද සහල් කලං 1 මදට 4 බැගින් පත 2 – ½ සිදුවා මී පැණි දම‍ා ටික ටික බීම.
  8. ඉගුරු ඉස්ම, දෙහි ඉස්ම, සාදික්කා ගල ගා ගත් කල්කය සීනි, මී පැණි දියකර පෙවීම.
  9. ජීවානන්ද කල්කය ගුලි 1-2 දක්වා ඉහත කී කෂායක් සමග බීමට දීම.
  10. පනු ගුලිය හෝ සාම ගුලිය 2-4 දක්වා උදේ සවස
  11. බෙලි මුල්, මලිත මල්, ඉරිවේරිය, ලොත්සුඹුලු, ගජතිප්පිලි, කලං 1 මදට 4 බැගින් වතුර පත 4- ½ සිදුවා දෙවේලට දීම මී පැණි දමා.
  12. වියළි කහ, වෙනිවැල් ගැට, කටුවැල් බටු, කෙලිද හාල්, වැල්මී කලං 1 මදට 4 බැගින් ගෙන වතුර පත 4- ½ සිදුවා දෙවේලට මී පැණි දමා දීම.

 

ප්‍රවාහිකා

ප්‍රවාහිකාව ලෙස හදුන්වන්නේ අතිසාරයේම දැරුණු වු තත්වයකි. ගැමි වහරට අනුව මෙය හීදන්කඩුත්තුව, හීදන් අතීසාරය, ජලසන්නිය යන නම් වලින් හැදින්වෙයි. මෙම රෝගී අවස්ථාවේදී මල පිටවීම දරුණු නැති නමුත් තැටමීම, මල කොටස් සමග ලේ කොටස් පිටවීම පවතී. වේදනාවද ඇති වේ.

ප්‍රතිකාර

  1. මාදං කොළ කොටා එහි ඉස්ම මේස හැදි 3 ට, රත් කළ එළුකිරි මදක්ද, කරදමුංගු කුඩුද දමා බීම.
  2. වදකහ පිළිස්සූ අළු මී පැණියෙන් දීම.
  3. බෙලිගැට මද ග්‍රෙන්ස් 6, කෑල, ඉඹුල් කදේ මැලියම් ග්‍රෙන්ස් 1, සීනි ග්‍රෙන්ස් 1 ම්ශ්‍රකර දින තුනකට වරක්
  4. පේර මුලේ පොතු කෂාය.
  5. කෙලිද හාල් පොතු කෂාය හෝ කෙලිද හාල් කුඩු ග්‍රෙන්ස් 1-2 දීම.
  6. සාදික්කා සහ වියළි ඉගුරු එළගිතෙලෙන් අඹරා ලේහ කිරීම.
  7. බෙලිගැට මද, කෙලිද පොතු, දෙළුම් ගසේ පොතු වියළා කුඩු කර වරකට තේ හැදි 1 ක් උණුවතුරට දමා බීම.
  8. නුගමුලේ පොතු හාල් පානු වතුරෙන් අඹරා බීම.
  9. අමු බෙලි ගෙඩිය දෙකට පලා දියෙහි ලා තම්බා ගත් ජලයට සුකිරි කුඩු දමා බීම.
  10. බෙලිගැට මද, කලාදුරු අල කුඩු කර උතුරන වතුර දමා වසා (පාණ්ඨ කෂාය) පෙරා මී පැණි දමා බීම.
  11. දෙලුම් ගැට ලෙලි තම්බා හෝ චූර්ණය දීම.

ග්‍රහණි

ග්‍රහණි රෝග අත් බෙහෙත් කරමින් සිටිය හැකි රෝගයක් නොවේ. එහෙත් මෙරට බොහෝ දෙනා ග්‍රහණි වැනි රෝග වලින් පෙ‍ෙලන හෙයින් එම රෝගීන්ට පොදුවේ උපදෙස් ස්වල්පයක් දීමට අදහස් කරමු. ග්‍රහණි රෝගයේදී ආහාර පැසවීම අඩු වේ. විටෙක ද්‍රව ලෙසද, විටෙක සකස් වූ මලද පිටවේ. උදරයේ වේදනාව අසහනත්වය ඇතිවේ. අරුචිය ඇතිවේ. මෙය සුවවීමට කල් ගතවන රෝගයකි. එහෙක් ශරීරයේ ආහාර පැසවන ගින්න වැඩි කිරීම හා පරිපචන ව්‍යුහයට හිත ආහාර ගැනීමෙන් රෝගය සෑහෙන දුරට මර්ධනය කර ගත හැකිය.

ආහාර වර්ග

  1. මෝරු, ග්‍රහණියේදී හොදම අ‍ාහාරය මෝරුය. එයට ඉගුරු කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංචා කොළ, රතු ළූණු දමා සාදා ගත් විට කදිමට රසවත්ය.
  2. බෙලි ගැට තැම්බූ වතුර.
  3. ඇඹුල් ඇඹිලිය කොළ සම්බෝලයක් මෙන් කෑම.
  4. වියළි ඉගුරු, කලාදුරු අල, අතිවිඩයන්, රසකිද, කලං 3 බැගින් පත 8-1ට සිදුවා පානයට.
  5. බෙලිමල් ද ඇඹුල් ඇඹිලිය තම්බා බීම.
  6. නවරත්න කල්කය උදේ දවල්, කෑමට පසු ගම්මිරිස්, සුදු ළූණු තැම්බූ වතුර සමග බීමට දීම.
  7. හිංගු අශ්ඨක චූර්ණය ග්‍රෙන්ස් 20 සිට 40 මෝරු සමග බීම.
  8. කොත්තමල්ලි, අමු ඉගුරු, කලාදුරු, ඉරිවේරිය, බෙලිමුල් කලං 2 බැගින් පත අට එකට සිදුවා උදේ සවස බීමට.
  9. තිප්පිලි, තිප්පිලි මුල්, සිවිය මුල්, රත්නිටුල්, අමු ඉගුරු කලං 2 මදට 8 බැගින් පත අට එකට සිදුවා උදේ සවස බීමට.
  10. සුදුරු, ඉරිවේරිය තැම්බූ වතුර මී පැණියෙන්. තුඹ දළු, මිංචි කොළ 8/1 ඇඹුල් ඇඹිලිය සිනිදුව අඹරා ගත යුතුය.
  11. නවරත්න කල්කය මදට 2ක් උදේ සවස කෂාය සමග.
  12. පංච කොළ ( තිප්පිලි, තිප්පිලි මුල් සිවිය, ශුද්ධ රත්නිටුල් හෝ සුදුළූණු, වියළි ඉගුරු) කුඩු කර පේයාව (ලේ හීදන් පිටවේ නම් නුසුදුසුය)
  13. සුදුරු බැද කුඩු කර කෝපි ආකාරයට බීම.
  14. කලාදුරු, කරදමුල් පොතු, ඉගුරු කෂාය බීමට දීම. (බඩවැල් වල තුවාල වලටද හිතය)

 

මලබද්ධය

බොහෝ අය මේ අවස්ථාවෙන් පෙලේ. පුරුද්දක් වශයෙන් දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වු විට මෙය මග හැරී යා හැක. සහජ අර්ශස් ඇති අයට මෙය තදේට බලපාන කරුණකි. බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර අවශ්‍ය පුමාණයට නොගැනීමත් මීට හේතු වේ. මෙවැනි අවස්ථා වලදී වැඩි වශයෙන් ගත යුත්තේ මල වඩන ආහාරය.

  1. අරළු කුඩු, සෙනෙහ කොළ, රට ඉදි එකට අඹරා වරකට ග්‍රෙන්ස් හැටක් පමණ දවසට දෙවරක් ගැනීම.
  2. වැල්මී කුඩු, අරළු කුඩු, සූකිරි, මුද්දරස්පලම්, එකට අඹරා ග්‍රෙන්ස් 30 සිට 60ක් උණු වතුර සමග ගැනීම.
  3. කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියළා තබාගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තියා බීමට.
  4. තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, සුකිරි සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෙන්ස් 40-60 දක්වා උණු වතුරෙන් ගැනීම.කතුරුමුරුංගා කොළ,
  5. කෙසෙල් මුව, කෙසෙල් බඩ, සමග පරිප්පු, බෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර වශයෙන් ගැනීම මල බද්ධයට හිතය.

මලබද්ධය මග හැරවීම

  1. දිනපතා නියමිත වෙලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කර ගැනීම.
  2. මල වේග අමතක නොකිරීම.
  3. වතුර වැඩිපුර පානය කිරීම.
  4. අළුත් පළතුරු, එළවළු, පලා දිනපතා ආහාරයට එකතු කර ගැනීම. කෙදි සහිත එළවළු - කොහිල දළු, අල, මුගුණුවැන්න, ගොටුකොළ ආහාරයට ගැනීම.
  5. වියළි මස්, මාළු, කරවල වර්ග අඩුවෙන්ආහාරයට ගැනීම.
  6. විරේක ඖෂධ වර්ග හැකි තරම් අඩුවෙන් පාවිච්චි කිරීම.
  7. මලබද්ධයට, අර්ශස්, භගන්දර වැනි රෝග හේතු වන බැවින් එම රෝග වලට ප්‍රතිකාර ලබාගැනීම ආදියද කළයුතුවේ.
  8. කොළ කැඳ පානය.

අම්ලපිත්තය

ආහාර දිරවීමට ඇති අග්නිය අම්ල තත්වයට පත්වීම නිසා ආහාර දිරවීම අපහසු වේ. අම්ලත්වයේ අධිකකම නිසා ආහාර පල්වේ. මෙහි ලක්ෂණය නම් අම්ල රස හෙවත් ඇඹුල් රස උගුරට ඒම, උගුර හා පපුවේ දැවිල්ල, බඩ පුරවා දැමීම, හෘද ප්‍රදේශයේ වේදනාව, හිසේ කැක්කුම, ඇග පත දැවිල්ල, මල බද්ධය හෝ ද්‍රව මල පිටවීම, මල පිටවන විට දැවිල්ල ආදිය වේ. බොහෝවිට මෙම රෝගයෙන් රෝගීන් තමාට හෘද රෝගයක් හෝ පිළිකා රෝගයක් ඇතැයි සැක සිතයි. බොහෝ වෛද්‍යවරුද මීට මුලා වෙයි. මෙය කල් අල්ලා සිටින රෝගයකි. රෝගය හරි හැටි අදුනාගෙන නියම වෙදකම නොකිරීමෙන් රෝගියාත්, වෛද්‍යවරයාත් මුලා වේ. එවිට රෝගියාත් වෛද්‍යවරයන් වෙතින් තවත් වෛද්‍යවරයන් කරා යමින් රෝගය උත්සන්න කර ගනී. මානසික හේතුන්ද මෙම රෝගියාට බොහෝ සෙයින් බලපායි. සමහරු හෘද රෝග වලින් පෙ‍ෙලනවා යැයි සැක සිතමින් නොයෙක් පරීක්ෂණ කරගනී.

මෙම රෝගයට වෙදකම් කිරීමේදී හොදම දෙය විරේකයක් කර ගැනීමයි.

  1. සුකිරි කලං 6යි, අරළු කලං 6 කුඩුකර උතුරන වතුර කෝප්පයක් රැයක් වසා තබා පෙරා උදේ හිස් බඩට මෙය බීමෙන් හොදින් විරේක වූවාට පසු දවල්ට තැම්බුම් හොදි සමග බත් ටිකක් ගත හැකිය.
  2. මෙම රෝගීන් පුරුද්දක් වශයෙන් උණු වතුර බීම කළ යුතුය.
  3. දිය බත් දීම ඉතා ගුණය.
  4. මුස්තකාද්‍යරිෂ්ඨය හෝ අභයාරිෂ්ඨය අවුන්ස 1බැගින් කෑමට පළමු ගැනීම හොදයි.
  5. අමු ඉගුරු යුෂ මේස හැන්දක් මී පැණි තේ හැදි 1ක් මිශ්‍රකර දවල් රෑ කෑමට පසුව බීමට.
  6. කුෂ්මාණ්ඩකාවලේහය කලං 1 බැගින් උදේ සවස පාවිච්චි කිරීම. මාස 2ක් පමණ කල් පාවිච්චි කළ යුතුය.
  7. කීකිරිදිය යුෂ තේ හැදි 3බැගින් කිරි සමග දිනපතා උදේ සවස පානය කිරීම.
  8. අත්තික්කා පොතු චූර්ණය ග්‍රෙන්ස් 20බැගින් බටර් සමග අනා කෑම.
  9. කීකිරිදිය පවනේ වියළා කුඩු කර තබා ගෙන ග්‍රෙන්ස් 20 බැගින් බටර් සමග මිශ්‍ර කර උදේ සවස ගැනීම.
  10. භාෂකර ලවන ග්‍රෙන්ස් 20 උදේ සවස බටර් සමග අනා කෑම.
  11. ප්‍රථ්‍ය වශයෙන් තැඹිලි වතුර, කිරි, පුහුප්, දිය ලබු, වැටකොදු, කරවිල, බණ්ඩක්කා ආදී එළවළු ගැනීම.
  12. අප්‍රථ්‍ය තේ, කෝපි, ඇඹුල් කෙසෙල්, තෙල් කෑම, බැදුම්, රතුමාළු, මිටිකිරි දැමූ ව්‍යංජන.
  13. ශංඛවටී ගුලි 1-2 දක්වා නිවුනු වතුරෙන් ගැනීම.
  14. අභයාරිෂ්ඨය උශීරාසවය මිශ්‍රකර කෑමට පසු මේස හැදි 1 ක්
  15. ශංඛභෂ්ම මංචාඩි 1ක් වතුර සමග.
  16. සෝඩා වතුර බීම.
  17. සැවැන්දරා, බෙලිමුල්, පත්පාඩගම්, චූර්ණ කර උණුවතුරින් දීම.
  18. බෙලි කොළ ආසවය උක් හකුරුදමා දීම.

 

වමනය

බෝහෝ හේතු නිසා වමනය ඇති විය හැකි අතර ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ආහාර විෂ වීම, ගර්භණී අ‍වස්ථා, උදර රෝග යන අවස්ථා වලදීය.

  1. වමනයේදී හැකි තාක් දියර වර්ග දිය යුතුය. මේ සදහා දෙහි, දොඩම්, නාරං, දෙළුම් අ‍ාදියේ යුෂ සිනී දමා දීමට, අයිස් සොයා ගැනීමට හැකිනම් අයිස් සමග එම වතුර දීම ඉතා හොදය.
  2. බෙලිමුල් තැම්බූ වතුරට මී පැණි මිශ්‍රකර බීම.
  3. පොල් විනාකිරි හා වතුර අවුන්ස 2 බැගින් ගෙන එයට සීනි තේ හැදි 6ක් පමණ දිය කර ටික ටික බීම.
  4. ගම්මිරිස් පොඩි කර හෝ කබලේ බැද තම්බා ටික ටික දීම.
  5. අමු ඉගුරු තම්බා සීනි දම‍ා බීම.
  6. ළදරුවනගේ පණු වමනයට කොහොඹ පොතු, දුම්මැල්ල, කොහොඹ නැටි, කෂාය කර සීනි දමා දීමට.
  7. අඹ පොතු තම්බා සීනි දමා බීමට.
  8. මාදං පොතු තම්බා සීනි දමා බීමට.
  9. දිවුල් මද මිරිකා සීනි දමා ටික ටික බීමට.
  10. සාදික්කා ගල ගා දෙහි ඇඹුලෙන් දීම.
  11. සූරං විදුර ගුලියක් දෙහි ඇඹුලෙන් දීම.
  12. සප්සද මුල දෙහි ඇඹුලෙන් ගලගා දීම.
  13. සීතාරාම ගුලි 2ක් උක්පැණි, මී පැණි, ඉගුරු ඉස්ම සමග
  14. විලද කුඩු මී පැණියෙන් කෑමට දීම.
  15. කන කරාඹු නැටි තද උණු වතුරට දම‍ා බීම.
  16. කර්පුරාසවය.

 

උදර ශුලය හෙවත් බඩේ කැක්කුම

බඩේ කැක්කුම රෝගයක් නොව ලක්ෂණකි. නොයෙක් නොයෙක් රෝග නිසා බඩේ කැක්කුම ඇතිවිය හැකිය. කැක්කුම ඇති වන්නේ වාත කෝපයෙන්ය. වාතය අනුලෝමනය කිරීමෙන් ශුලය හෙවත් බඩේ කැක්කුම සමනය වේ.

  1. උණු වතුර බෝතලයක් බඩේ කැක්කුම ඇති තැන තබා ගැනීම.
  2. සවිද ලුණු, සියඹලා, සුදුරු, ගම්මිරිස් කුඩු කර සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා, ග්‍රෙන්ස් 15-20 පමණ ගුලි සාදා උණු වතුරෙන් ගැනීම ගුලි 1-4 දක්වා.
  3. බේත් එඩරු මුල් සහ අමු ඉගුරු තම්බා පෙරුංකායන් කබල් ගා මිශ්‍රකර බීමට.
  4. නවරත්න කල්කය ග්‍රෙන්ස් 20-40 උණුවතුරෙන් හෝ ගම්මිරිස්, සුදුළූණු තැම්බූ වතුරෙන් ගැනීම.
  5. හිංගු අෂ්ඨක චූර්ණය ග්‍රෙන්ස් 20-30 දක්වා ගිතෙල් වෙඩරු මිශ්‍ර කර උණු වතුරෙන් ගැනීම.
  6. පිප්පල්‍යාද්‍යාසවය අවුන්ස 1ක් බීමට.
  7. කර්පුරාසවය අවුන්ස 1ක් බීමට.
  8. ශංඛ වටී 1-2 දක්වා උණුවතුරෙන් බීමට.
  9. සීතාරාම ගුලි 4ක් සාදික්කා ගල ගා ගත් කල්කයට ඉගුරු ඉස්ම හෝ දෙහි ඇඹුල් දිය කර සීනි, මී පැණි දමා බීමට.

 

අර්ශස්

ගුද මාර්ගයේ ඇති ශිරා නාල වල ලේ පිරී මහත් වී එලියට ඒම අර්ශස් නමි. අර්ශස් වර්ග කිහිපයකි. බෙහෙත් වලින් සුව කිරීම හා ශල්‍යකරිම වලින් සුව කිරීම ලෙස අවස්ථා දෙකකි.

  1. මල බද්ධය හැකි තාක් අඩු කර ගත යුතුය. මල බද්ධයට හිතවත් ආහාර වර්ග ගත යුතුය.
  2. ලේ යන අවස්ථා වලදී බිං කරල්හැබ කලං 6යි, කලාදුරු අල කලං 6යි. වතුර පත 8-1ට සිදුවා සීනි දමා බීමට.
  3. තිරස්සවාලු මුලේ පොතු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, කලං 3 බැගින් පත 8-1ට සිදුවා උදේ සවස බීමට. එයම කුඩු කර එකට අඹරා ග්‍රෙන්ස්  20-40 දක්වා උදේ සවස ගැනීමට.
  4. මගුල් කරද මුලේ පොතු, සාරණ මුල්, රත්නිටුල් මුල්, අරළු, තිප්පිලි, වියළි ඉගුරු කලං 2 බැගින් වතුර පත 8-1ට සිදුවා සවිද ලුණු දමා බීමට.
  5. අර්ශස් ගෙඩි තද වී වේදනාව දෙන විට උණුවතුර භාජනය අධෝභාගය අවගහනය කර විනාඩි විස්සක් විතර වාඩි වී සිටීම.
  6. අර්ශස් ගෙඩි වල සර්ව විසාදි තෛලය හා ගිතෙල් එක පමණ ගෙන ආලේප කිරීමෙන් වේදනාව හා ඉදිමීම පහළ යයි.
  7. බෙහෙත් අනෝදා කොළ කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමෙන් වේදනාව පහ වේ.
  8. කාංකායන මෝදක කලං ½ බැගින් උදේ සවස මෙය මාස දෙක, තුනක් ගත යුතුය.
  9. අරළු, බුළු, නෙල්ලි චූර්ණය කලං ½ දේවදාලි නොහොත් වැල් රඹුටන් (පඩ වැල්) සහ මූල කෂායෙන් උදේ සවස බීමට.
  10. පාවට්ටා, මුද්දරපලන්, අරළු කෂාය.
  11. රතුළූණු, බේත් අනෝදා කොළ, වැල්මී කෂාය.
  12. කපුරු පුච්චා දුම් ඇල්ලීම, සාම්බ්‍රානි දුම් ඇල්ලීම.
  13. අමුක්‍රා අල, තිප්පිලි, වියළි එළබටු ගෙඩි, නික කොළ පොල් කටු අගුරු දමා දුම් ඇල්ලීම.
  14. වැටකොලු මැල්ලුම, මුල් වියළා කුඩු කර චූර්ණය ගෑම.
  15. රතුළූණු, කොහිල අල, බිං කරල්හැබ, උදුපියළිය මිරිකා බීම.

 

ගුදපරිකා

ගුදපරිකා නම් ගුදයේ පැලීම්. උෂ්ණ ආහාර වැඩිපුර ගැනීම නිසාත් මල බද්ධය හා අධික තැටමීම නිසාත් මෙය ඇති වේ. මෙහිදී මල පහ කළ විට අධික වේදනාවක් හා මිරිස් ගෑවාක් මෙන් දැවිල්ලක් හට ගනී. ටික කලක් මෙසේ තිබූ විට හා නිතර නිතර ඇති වූ විට ඉන්නක් මෙන් මස් රොදක් ගුද විවරයේ ඇති වේ. බොහෝ විට මෙය අර්ශස් අංකුරයක් -(ගෙඩියක්) කියා වරදවා ප්‍රතිකාර ගනී. මෙහිදී බලමාළු, ඇටවළු මාළු, දෙල් වැනි උෂ්ණ අධික අ‍ාහාර වර්ග වලින් වැලකී, මල පහ කළාට පසු සර්ව විෂාදි තෙල් හෝ නීල්‍යාදී තෙල් හෝ සීතෝදක වැනි තෙලක් ගෑමෙන් සුව වේ. ඕනෑම තුවාල තෙලක් ගෑමෙන් සුව වේ.

දිලීර හැදෙන නිසා ගෙන්දගම් මිශ්‍ර තෙලක් වඩා ‍හොදයි. කොහොඹ කොළ, අමු කහ තම්බා එම දියරේ වාඩි වී සිටීම.

සෙන්ගමාල රෝගය (කාමලා)

පිත ආහාර පරිපචන මාර්ගයට නොගොස් රක්තයට මිශ්‍රවීමෙන් මෙම රෝග ලක්ෂණ ඇති වේ.

ප්‍රතිකාර

  • මෙම රෝගියාට සම්පූර්ණ විවේකය ද‍ිය යුතුය.
  • ඖෂධාදිය කොළ කැද වර්ග දීම ඉතා හොදය. මේ සියළු කැද වර්ග දිය 14ක් දිය යුතුය.ඒ සදහා හීන් බෝවිටියා කොළ කැද, යකිනාරන් කොළ, කෝන් කොළ, සැවැන්දරා, බක්මී කොළ පොතු කොටා මිරිකා යුෂ කැද උයා දීම.
  1. මසන් කොළ, සුදුළූණු, කිතුල් හකුරු, හදෙහි ඇඹුල්, කැකුළු හාල් කැද උයා දීම.
  2. කෝමාරිකා පිත්තක් ගෙන පලා මුං ඇට මිටක් දමා උණු අළු පල්ලේ තම්බා ඒවා සූරා ගෙන කැද උයා බීමට.
  3. පිටවක්කා සහමූල කෂාය කර බීමට.
  4. මොනරකුඩුම්බිය සහමූල කෂාය කර බීම.
  5. අරෝග්‍යවර්ධනි රස ගුලි 1-2 දක්වා දවසට තුන් වරක්.
  6. කුමාරි ආසවය අවුන්ස 1ක් කෑමට පසු දවසට තුන් වරක්.
  7. උශීරාසවය අභයාරිෂ්ටය මිශ්‍රකර අවු: 1ක් බොන්නට දීම.

බඩවැල් පහත්වීම

කුඩා ළමයින්ට මෙය ග්‍රහණි මාන්දම්, අතීසාරය නිසා ඇති වේ. වැඩුනු අයටද මෙය ඇති වේ. බඩවැල් මෑත් වුන විට සර්වවිසාදිය, නීල්‍යාදිය, වැනි තෙලක් ගා ඇතුල් කිරීමෙන් එය ඇතුලු වේ. උදේ සවස බෙ‍ෙහත් අනෝදා කොළ තැම්බු වතුරෙන් ගුද ප්‍රදේශය අවගාහනය  කර තිබීමෙන්  ද මෙය නිතර මෑත් නොවී සුව වේ.

පහත සදහන් කෂාය 14ක් හෝ 28ක් දිගටම පාවිච්චි කිරීමෙන් මෙය ‍ෙබාහෝවිට සුව වෙනවා අප දැක ඇත්තෙමු.

  1. කලාදුරු අල, සැවැන්දරා, හාතාවාරිය අල, ආඩතෝඩා මුල්, නෙළුම්  අල, නෙළුම් රේණු, කලං 2ක බැගින් පත 8-1ට සිදුවා ගත් කෂාය උදේ සවස පානය.
  2. ඉබිකටු දුම් ඇල්ලීම.
  3. එළකිරෙන් තෙමීම, බීමට දීම.
  4. පින්න කොළ ගොටුවට කපු කොළ ඉස්ම දමා ඒ තුලට දමා ඇතුල් කිරීම.
  5. උළුවා තෛලය හිසට දමන්න, පසුව ගුද නාලිකාවේ ගාන්න.
  6. සියක් වර සේදු ගිතෙල් දුම් ඇල්ලීම.
  7. කලාදුරු අල, කරද මුල්-පොතු කෂාය කර බීම.‍

 

පාණ්ඩු

උෂ්ණ කාලයේදී මැඩියන්ගේ හම සුදුමැලි ලා කහ පාටකට හැරේ. මේ වර්ණය පාණ්ඩු නමි. මිනිස් සිරුරත් මේ වර්ණයට ඒ නම් පාණ්ඩු රෝගය නමි. එනම් ශරීරයේ ලේ හිග වී ශරීරය සුදුමැලි පැහැ ගැන්මයි. පාණ්ඩුවට ‍හේතු වු බොහෝ කරුණු ඇත. ආහාර මදි කම, කොකුපණු රෝගය, අර්ශස් ප්‍රදර, ලග ලග දරුවන් ලැබීම, වැනි විවිධ හේතු නිසා අධික රුධිරය පිටවීමේ හේතුව ප්‍රධාන වේ. කොකු පණු රෝගය වී නම් එම පණුවන් හැලීමට බෙහෙත් ගත යුතුය. පාණ්ඩුවේදී පාවිච්චි කළ හැකි ඉතාම ගුණදායක බෙහෙත නම්  රාබස්නය. මෙය අප දහස් වාරයක් අත් දුටු ක්‍රමයකි. බොහෝ වෙදකම් කර සුව කිරීමට බැරි වූ මුළු ශරීරයම ඉදිමී කිසි වැඩක් පළක් කර ගැනීමට බැරි හතිය, අරුචිය, ශරීරයේ දුබල බව ආදී ලක්ෂණ ඇති රෝගීන් සති දෙකකදී සුව වේ.

  1. පොල් රා බෝතල් දෙකයි.
  2. දෙහි යුෂ බෝතල් දෙකයි.


චූර්ණය: සාදික්කා, වසාවාසි, අරළු, කලාදුරු, කුරුදු පොතු, කරාබුනැටි අවුන්සය බැගින්, සීනි රාත්තල් 4යි.

අළුත් මුට්ටියක් ගෙන පොල් රා සහ දෙහි ඇඹුල් දමා සීනි ටික දියකර බෙහෙත් සරක්කු ටික හොදින් තලා කුඩු කර ඊට බහා අඟල් හතරක පමණ මල බැදුණු යකඩ කැබැල්ලක් ගෙන එය ගිනියම් කර මුට්ටියට දැමිය යුතුය.මෙය නැවත නැවත ගිනියම් කරමින් හත් වරක් මුට්ටියට දමා වසා මුට්ටිය වසා මැටි බැද දින හතක් තබා ගෙන පෙරා අවුන්ස දෙක බැගින් උදේ දවල් රෑ අහරට පසු ගත යුතුය. මෙය ගැනීමෙන් ඉදිමුම නැතිවී සුව වේ.

  1. නවාසය ලෞහය, ග්‍රෙන්ස් 5-10 දක්වා ආහාරයට පසු ගැනීම (ඇඹුල් මිශ්‍ර නොකළ යුතුය)
  2. පූණර්ණවා මණ්ඩුරය ග්‍රෙන්ස් 5-10 දක්වා.
  3. ලෞහ ආසවනය අවුන්ස 1 බැගින් කෑමට පසු.
  4. යකඩ බහුල කීකිරිදිය මැල්ලුම හෝ උයාකෑම.
  5. මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ, මුකුණුවැන්න, සාරණ ආදී පළා වර්ග අධිකව ආහාරය පිණිස ගැනීම.
  6. ප්‍රසාරණී කොළ සුප් දීම.
  7. අවුරුදු සියයක් පරණ යබර බුලු දරින් ගිනියම් කොට එළමුත්‍රයේ තබා චූර්ණ කොට සියුම්ට අඹරා මදට 1 ක් වේලකට තිප්පිලි කුඩු දමා මී පැණි දමා දීම.
  8. ධාත්‍රි අරිෂ්ඨය අවු:1ක් කෑමෙන් පසු.
  9. පීකුදු බස්නය.

පාණ්ඩු රෝග වැළැක්වීම සදහා

  1. ලේ වඩන පෝෂ්‍යදායක ආහාර පාන ගත යුතුය. පීකුදු, මස්, මාළු, කිරි, බිත්තර, මෙන්ම පලා එළවළු මේ අතරය.
  2. පාවහන් පැලදීම කොකුපණු රෝගය මැඩ පැවැත්විය හැකි උපක්‍රමයකි.
  3. අබ, මිරිස්, අච්චාරු වැනි ලේ දවන ආහාර පාන අඩු කිරීම.

පාණ්ඩුවේදී වන්නේ ශරීරයේ ලේ හිග කම ඇති වීමයි. මෙයින් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම පීඩාවට පත් වීම වැළැක්වීම දුෂ්කරය. ආහාර පාන වලින් පාලනය කර ගත හැකි වන්නේ පාණ්ඩු තත්වය උග්‍ර නොවී පවතින තාක් පමණය. ලේ හිගකම ඇතිවීමෙන් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම පීඩාවට පත් වීම වැළැක්වීම දුෂ්කරය. ලේ හිගකම දරුණුව පවතී නම් පාණ්ඩු රෝගය සුව කර ගත නොහැකි වේ. එවිට යකඩ ධාතු අඩංගු ඖෂධ පාවිච්චි කළ යුතුය. ඇතැම් විට ඉතා දරුණු  ලෙස පාණ්ඩු තත්වය ඇති වු අවස්ථාවේදී එම ඖෂධ වුවද ප්‍රමාණවත් නොවිය හැක. මෙබදු අවස්ථා වල ක්ෂනිකවම රුධිරයම ශරීර ගත කළ යුතු වේ.

මෙයින් පෙනී යන්නේ පාණ්ඩු රෝගයේ විවිධ අවස්ථාවන්ට අනුව ප්‍රතිකාර ක්‍රමයද වෙනස් කළ යුතු බවය. පාණ්ඩු රෝගයද විවිධ හේතු නිසා ඇතිවන බව සැලකිල්ලට ගෙන කරන ලද මුලික අත් බෙහෙත් වලින් ප්‍රයෝජනයක් අත් නොවීනම් වෛද්‍ය උපා‍ෙද්ශ ලබා ගත යුතුය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු වූ සුශ්‍රැත නම් සෘෂිවරයා පවසා ඇති අන්දමට රුධිරය හෙවත් ලෙය මනුෂ්‍යයා‍ගේ ප්‍රාණය හා සම ලෙස රැක ගැනීමෙන්, ප්‍රාණයද රැකගත හැකිබව තේරුම් ගත යුතු වේ.