ශ්වසන ව්‍යූහාගත රෝග

ශ්වසන ව්‍යුහාගත රෝග

නාසය, උගුර, ස්වරාලය, ස්වාසනාලය, සහ නාලිකා, පෙනහළු, යන ඉන්ද්‍රියයන් ශ්වසන ව්‍යුහයට අයත් ය. ආයුර්වේද මත අනුව ශ්වසන ව්‍යුහාවේ බල පවත්වන දෝෂය කඵයි. මේ නිසා කඵ දෝෂය දූෂණය වන හේතුවලින් ශ්වසන ව්‍යුහාව රෝගී වේ. තවද ශ්වසන ව්‍යුහාව අයත් වන්නේ ප්‍රාණ වහා  සෝතසටයි. එහෙයින් ව්‍යුහාව පීඩා වීමේන් පහළවන ලක්ෂණ පොදුවේ ප්‍රාණවහ ස්‍රොතය පීඩා වීමෙන් පහළවන ලක්ෂණයෝය. ආයුර්වේද මත වලට අනුව ශ්වසන ව්‍යුහාගත රෝග ඇතිවීමට, හේතු වන්නේ සෙම් දෝෂයි. සෙම දූෂණය කරන ආහාර ඖෂධ සහ විහරණයන්ය. වම්බටු, මෑකරල්, බණ්ඩක්කා වැනි ශීත ස්නිග්ධ ගුණ යුතු ආහාර නිතර නිතර කෑමෙන් ශ්වසන ව්‍යුහාගත රෝග ඇතිවන බැව් මෙරට ගැමි ජනයා පවා දනිති. මේ පරිද්දෙන් ම අවේලාවට ශීත ජලය පරිහරණය, පින්නේ යාම, නිදි වැරීම, ශීත සුලග සේවනය වැනි විහරණ නිසාද, මෙම රෝග ඇතිවේ. ජීවිතයේ බාල කාලය කඵ දෝෂය උල්බනව පවත්වන සමය බැවින් එම කාලයේදීද, ශ්වසන ව්‍යුහාගත රෝග වැලදීම බහුලය. ශ්වාස, කාස, ප්‍රතිශ්‍යා, පීනස්, රජයක්ෂමා, රක්තවමන, හතිය, ශ්වසන ව්‍යුහාගත රෝග සමහරෙකි.

ප්‍රතිශ්‍යාය

සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම් ප්‍රතිශ්‍යාව යනුවෙන් ව්‍යවහාර වන මෙම රෝගය සහ ඉන් ඇතිවන උපද්‍රව අද සමාජයේ ඉතා බහුලය. කලින් කියන ලද හේතු වලට අමතරව ශීත කළ බීම, විෂ දුම් ආඝ්‍රහණය වීම, පරිසරිය දූෂණය වැනි හේතුද ප්‍රතිශ්‍යාවට ඉවහල් වේ. මෙය සංක්‍රමනශීලී රෝගයකි. හිසරදය,හිස බරබව, ඇස් රතුවීම. ඇගේ වේදනාව, අරුචිය, මද උණ සහිතව නැසයෙන් දියර ගැලීම මෙම රෝගයේ ලක්ෂණයි. අප්‍රධාන වශයෙන් වෙනත් බොහෝ ලක්ෂනද, පහළ විය හැකිය. ප්‍රධාන උපද්‍රව නාසය, වායුකුටීර, කර්ණ, නේත්‍ර, උගුර ආශ්‍රිතව ඇතිවේ.

ප්‍රතිශ්‍යාව වැළැක්වීම

  1. කඵ දෝශය ප්‍රකෝප වන ශීත ආහාර විහරණ වලින් වැළකීම ප්‍රධානය.
  2. පිරිසිදු ඇදුම්, පැළදුම්, කුඩ ආදිය පරිහරණය.
  3. පිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීම.
  4. උගුර සහ මුඛය පවිත්‍ර කිරීම.
  5. උණුසුම් ආහාරපාන පාවිච්චිය.

ප්‍රතිශ්‍යාය ප්‍රථමාධාර

  1. උණුදිය දෝවන කිරීම, පානය සදහා ගැනීම.
  2. විවේකය.
  3. ඉගුරු, කොත්තමල්ලි තැම්බූ දිය පානය.

I ප්‍රතිකාර

  1. ඉගුරු, කොත්තමල්ලි තැම්බූ වතුර බීම
  2. ඉගුරු, කොත්තමල්ලි, පත්පාඩගන්, වෙනිවැල් ගැට, තිප්පිලි තැම්බූ වතුර බීම.
  3. ඉගුරු, පත්පාඩගන්, කටුවැල් බටු, බටු මුල්, තිප්පිලි කලං 2 මදට 8 බැගින් කෂාය කර තිප්පිලි කුඩු, මී පැණි දම‍ා බීම. උදය, සවස.
  4. වෙනිවැල් ගැට, කොත්තමල්ලි, සුදුළූණු තැම්බූ වතුර බීම.
  5. සර්වවිසාදි තෛලයෙන් ටිකක් උගුර ඇතුලේ දෙපැත්තෙත්, පිටතත් ගා සෙම කාරා දැමීම.
  6. ලුණු වතුර වීදුරුවකට අබ කුඩු තේ හැදි 2ක් දමා උදය සවස උගුර සේදීම.

II කැස්ස

  1. ඇඹුල් දොඩම් යුෂ මේස හැදි    4 ක්, අමු ඉගුරු යුෂ මේස හැදි   3 ක්, සිනී තේහැදි   2 ක්, මී පැණි තේ හැදි   2 ක්, සියල්ල මිශ්‍ර කර බුද්ධරාජ කල්කය ග්‍රෙන්ස් 20 පමණ දිය කර වරින් වර තේ හැදි 2 බැගින් බීමට දීම.
  2. ඇඹුල් දොඩම් යුෂ මේස හැදි   6, කප්පරවල්ලිය කොළ යුෂ මේස හැදි     3, මදක් රත් කර නිවා මී පැණි මේස හැදි 2ක් දමා වරින් වර බීම.
  3. කුඹුරු දළු, නික දළු, අමු ඉගුරු, සුදු ළූණු එක පමණ ගෙන කොටා වන්ඩුවේ තම්බා මී පැණි දමා බීම.
  4. කටුවැල් බටු මුල්, සිරිතේක්කු, ඉගුරු, කොත්තමල්ලි කලං 3බැගින් කෂාය කර මී පැණි දමා බීම.
  5. ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, තිප්පිලි මුල්, හිගුරු පියළි, නෙළුම් රේණු  එක පමණ ගෙන කුඩු කර ඒ බරින් භාගයක් පිටි සීනි දමා මිශ්‍ර කර වරකට තේ හැදි 1ක් වැල්මී තැම්බූ වතුරෙන් උදය සවස බීමට.
  6. ආඩතෝඩ මුල් කලං ½ කළු මදුරුතලා කොළ 21, ගම්මිරිස් ඇට 5ක්, වතුර අවුන්ස 8, 2ට සිද පෙරා සවසට බීම
  7. උණුදිය පානය
  8. උක් සකුරු හා බුළු ගෙඩියේ පොතු චූර්ණයට සම ප්‍රමාණයෙන් ගෙන ලේහ කිරීම
  9. වැල් තිබ්බටු කොළ හා එලබටු ගෙඩි ආහාරයට ගැනීම. ආඩතෝඩ පවනේ වියලා කුඩු කර තේ මෙන් වත්කර පානය කිරීම.

ශ්වාස

ඇදුම රෝගය ගනු මෙයයි. ඉලප්පුව, ඊලය යනුද ව්‍යවහාර වේ. ශ්වාස නාල, නාලිකා තදබල ලෙස හැකිලී‍මෙන් ආශ්වාස, ප්‍රාශ්වාස ක්‍රියාවට බාධාවීමටද පෙනහලු තුළ සෙම් පදාර්ථය රැස් වීම මේ රෝගය ඇතිවන අන්දමයි. සංක්‍රමනික රෝගයක් නොවුනත් ආරයට යන ගතියක් ඇත. අසාත්මිකතාව හෙවත් දේශගුණික ආහාර විහරණ සාධකයන්හි නොගැලපීම මේ රෝගයට හේතුය.

පට පණු, කිරි පණු, වැනි ක්‍රිමි රෝග ඇති විටද ශ්වාස රෝග ලක්ෂණ පහල වේ. හුස්ම පිට කිරීමට අපහසුව, දැල වර වේදනාව, රාං රූං ශබ්දය, සෙම පිට නොවන කැස්ස මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයි.

ශ්වාස රෝග වැළැක්වීම

  1. ප්‍රතිශ්‍යා සහ පොදුවේ ශ්වසන ව්‍යුහාගත රෝග වැළැක්වීම සදහා නිර්දේශිත ක්‍රම සහ විධි අනුගමනය කිරීම
  2. අසාත්ම්‍යතා වැනි විශේෂ හේතු ඇත්නම් එයින් වැලකී සිටීම.

ශ්වාස රෝගයට ප්‍රථමාධාර

  1. ආශ්වාස, ප්‍රාශ්වාස පහසු කිරීම
  2. වමනය කිරීම. මේ සදහා ලුණු වතුර පෙවීම හෝ කුප්පමේනිය කොළ යුෂට බටු තෙල් දමා බීම.
  3. විවේකය.
  4. තීක්ෂණ තෙලක් පපුවේ ගැල්වීම.
  5.  උතුරණ වතුර දුම් අල්ලා සෙම ඇරීම.
  6. පාවට්ටා කොළ මිටක් වසා තම්බා දුම් අල්ලා ඉන් ටිකක් බීම. එනම් එයින් ටිකක් බීම හා දුම් ඇල්ලීම.
  7. ඉගුරු පෙති කපා සීනි කවලම් කර විකා සෙම ඇරීම.
  8. දින පතා ව්‍යායාමයක් වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස දීර්ඝ ලෙස කිරීම. කාලය මිනිත්තු 15යි.
  9. තමාට බීමට හැකි තරම් උණුසුම් ජල පානය.

ප්‍රතිකාර

  1. බටු දළු, නික දළු, කිරි අගුණ දළු, ආඩතෝඩ දළු, අමු ඉගුරු, සුදු ළූණු එකපමණ ගෙන කොටා වන්ඩුවේ තම්බා මිරිකා පත ½ ට සීනි, මී පැණි දමා බුද්ධ රාජ කල්කය තිබ්බටු ගෙඩියක් පමණ දමා දිය කර බීමට. උදේ - සවස දින 2යි.
  2.     කුප්පමේණිය කොළ, සුදු ළූණු, පොල් එක පමණ ගෙන කොටා උණු වතුරෙන් මිරිකා පෙරා පත ½ යක් උදයට බීම.
  3.     ඔලිද දළු, රසකිද දළු, එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා යුෂ පත 1-3ට බුද්ධරාජ කල්කය දමා සීනී දමා බීමට, උදය- සවස
  4.     බටු තෛල්‍ය තේ හැදි දෙකට සීනි තේ හැදි 1ක් දමා බීමට.
  5.     රසක්ද, වියළි ඉගුරු , සිරිතේක්කු, එළඉටු මුල්, හීන් මදුරුතලා කොළ, කෂාය කර මී පැණි දමා බීමට.
  6.     දේවදාර, කොත්තමල්ලි, වියළි ඉගුරු, එළබටු මුල්, කටුවැල් බටු මුල්, කෂාය කර සීනි මී පැණි දමා  බීමට.
  7.     සර්ෂපාදී තෛලය දෑල වර ආලේප කිරීම
  8.     සිරිතේක්තු, සුවද කොට්ටන්, වදකහ කුඩු කර එළගි තෙලෙන් අනා රෙදි කැබැල්ලේ ගා පහන් තිරය‍ට අල්ලා දුම් ඉරීම. දින 6ක්
  9.     ඉගුරු, කොත්තමල්ලි, ගම්මිරිස්, තිප්පිලි,  පෙරුන්කායන්, වැල්මී කෂාය කර තිප්පිලි කුඩු දමා බීම.
  10.     පැරණි උක් හකුරු අබ තෙලෙන් ලේහ කිරීම.
  11.     කුප්පමේනිය කොළ යුෂට සහිද ලුණු දමා දීම

IV කර්ණරුජා

  1. සර්වවිෂාදි තෛලය උගුර දෙපැත්තේහි ගා සෙම කාරා දැමීමට. පිටින් ගා නික කොළ සුදුළූණු පොට්ටනියෙන් තැවීමට.
  2. කොලශෙලෙස්මාව තෛලය පෙර සේ ගෑම.
  3. වේල දළු, යක්වනස්ස දළු, ඔලිද දළු, අමු ඉගුරු, සුදුළූණු, කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා සීනි, තල තෙල්, කොහොඹ තෙල්, ස්වල්පය බැගින් දමා පත ½ ක් බීමට.
  4. ලුණු වතුර වීදුරුවකට අබ කුඩු තේ හැදි ½ ක් දමා දියකර උගුර සේදීමට.
  5. බටු තෙල් උගුර දෙපස ගා පිරිමැදීමට.
  6. ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, ඇඹුල් දොඩම් පැගිරි, සහිද ලුණු, ඇඹුල් දොඩම් යුෂින් අඹරා උගුර ඇතුලේ දෙපස ගා සෙම කාරා දැමීම.
  7. කළු දුරු, සහිද ලුණු කුඩු කර, ඇඹුල් දොඩම් යුෂින් අනා කුඩා පොට්ටනියක් බැද උගුරේ තබා සෙම ඇරීමට.
  8. ආඩතෝඩා මුල්, කටුවැල් බටු මුල්, සිරිතේක්කු, සුදුළූණු, තිප්පිලි, තිප්පිලි මුල්, ගජතිප්පිලි, අමු ඉගුරු කෂාය කර ඇඹුල් දොඩම් යුෂ දමා බීමට.

හික්කා

  1. මොණර පිල පිලිස්සු අළු, මී පැණියෙන් ලේහ කිරීම.
  2. මී කිරි වලට මී පැණි දමා කෑමට.
  3. කිතුල් පැණි මේස හැන්දක් පානය කර කොත්තමල්ලි තම්බා වතුර බීම.
  4. වැල්මී කුඩු මී පැණියෙන් ලේහ කිරීමට හා නස්නයට.
  5. උක් හකුරු ඉගුරු ඉස්මෙන් ලේහ කිරීමට හා නස්නයට.
  6. විළද, අගුන ඇට, මී පැණියෙන් අඹරා ලේහ කිරීමට.
  7. වියළි ඉගුරු, සිරිතේක්කු, සුවස ලුණු, කුඩුකර සිසිල් දියෙන් පෙවීමට.
  8. වියළි ඉගුරු, නෙල්ලි, තිප්පිලි කුඩු කර සීනි, මී පැණියෙන් ලේහ කිරීමට.
  9. යවකර ලුණු, ගම්මිරිස් දෙවගය අඹරා උනු දියෙන් බීමට.
  10. වැලුක් මුල් සියුම්ව කුඩුකර මී පැණියෙන් ලේහය.
  11. එපිටවක්කා මුල් කලං 12ක් ගෙන වතුර කෝප්ප 7ක් හා එළකිරි කෝප්ප 1ක් දමා කෝප්පයට සිද උදේ සවස බීම.
  12. සුළුපස් මුල්, දස මුල්, විලද පේයාව
  13. දසමුලාරිෂ්ටය, හා ද්‍රාක්ෂාරිෂ්ටය, මිශ්‍රකර බොන්නට දීම.
  14. පෙරුම්කායම් දුම ඉරීම.

 

ස්වර භේද

උගුර බැරුණ්ඩි වීම යනුවෙන් මෙය සාමාන්‍යයෙන් ව්‍යවහාර වේ. මීට බොහෝ හේතු වන්නේ කලින් දක්වා ඇති පරිදි ස්වසන ව්‍යුහාගත රෝග හේතුය. විශේෂ වශයෙන් පින්නේ යාම, නිදිවැරීම, ඇතැම් කසට රස යුක්ත ආහාර පාන ආදියයි. සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝගවලට පූර්ව රූපයක් හා පර රූපයක් ලෙසද, ඇතිවිය හැකි ස්වර ‍ෙභ්ද රාජයක්ෂ්මා පිලිකා වැනි රෝග වලදී ද ඇති වන බව පෙනේ.

වැලැක්වීම

  1. රෝගයට හේතු විය හැකි ආහාර විහරණ වලින් වෙන් වීම. එනම් ස්වර භේදයට හේතු වන ප්‍රතිශ්‍යා වැනි රෝග වලින් ප්‍රවේසම් වීම.
  2. දුම්බීම, උස් හඩින් කථා කිරීම ආදියෙන් වැලකීම.

ප්‍රථමාධාර

  1. සර්වවිෂාදිය වැනි තෙලක් උගුරේ ගෑම.
  2. විවේකය.
  3. ලුණුවතුරෙන් උගුර සේදීම.

ස්වර භේද ප්‍රතිකාර

  1. ලුණුවතුර ස්වල්පයකින් උගුර සේදීමට.
  2. කෝලශෙලෙස්මාව තෛලය හෝ සර්ව විෂාදි තෛලයෙන් දිව මැදීමට හ‍ා උගුර ආලේපයට.
  3. දෙහි දළු, ඇඹුල් දොඩම් දළු, නික දළු, යකිනාරන් දළු, ආඩතෝඩා දළු, අමු ඉගුරු, සුදුළූණු එක පමණ ගෙන කොටා වණ්ඩුවෙන් තම්බා මිරිකා තලතෙල්, සීනි දමා පත ½ ක් උදේ සවස බීමට.
  4. දේවදාර, කොත්තමල්ලි, වියළි ඉගුරු, එලබටු මුල්, කටුවැල් බටු මුල්, කෂාය කර මීපැණි දමා බීමට.
  5. තිප්පිලි, ගජතිප්පිලි, අක්‍රපට්ටා, දේවදාර, රටතෝරමුල්, නික මුල්, සිවිය මුල්, පිටවක්කා මුල්, කෂාය කර මීපැණි දමා බීමට.
  6. අමු ඉගුරු කලං 2ක් ගෙන වතුර පත 8-4 ට සිදුවා පෙරා ඇඹුල් දොඩම් ඉස්ම පත ½ , සුකිරි පත ¼ ක් දමා පැණි පදමට උයා නිවුනු පසු මී පැණි දමා තේ හැදි 1බැගින් බීමට.
  7. මසන් කොළ, සවිද ලුණු, දියකළ වතුරින් පොගවා එළගිතෙලෙන් බැද කෑම.
  8. අරළු, තිප්පිලි, කුඩු කර මීපැණියෙන් අනා ලේහ කිරීම.
  9. ලුනුවිල, වද කහ (අමු), වියළි ඉගුරු, තිප්පිලි, වැල්මී, කෂාය සහිද ලුණු දමා බීම (පත 1 දිනකට 4වරක් බොන්න).
  10. මීපැණි, අමු ඉගුරු යුෂ, ඇඹුල් දොඩම් යුෂ, සුකිරි එක පමණ ගෙන වරින් වර පානය.
  11. නිතර වැල්මී කැබැල්ලක් සැපීම.

ගලගුණ්ඩික

සෙම් ගෙඩි ප්‍රදාහවත් වීමයි. උගුරේ වේදනාව, ගිලීමේ අපහසුව, උණ ගැනීම, කන් කැක්කුම, සාමාන්‍ය ලක්ෂණයි.

ප්‍රථමාධාර

  1. ලුණු දියරෙන් උගුර සේදීම.
  2. සර්ව විෂාදිය, කෝලශෙලෙස්මාව, බටු තෙල්, උගුරේ ආලේප කර සෙම හැරීම.
  3. කළු දුරු, කුඩුකර පොට්ටනියක් බැද උගුරේ තබා සෙම හැරීම
  4. කලු හබරල අල ලුනු දියෙන් ගල ග‍ා සෙම් ගෙඩි වල ඇතිල්ලීම.
  5. ගම්මිරිස් බැද කුඩු කර තේ හැදි 1ක්, ලුනු තේහැදි 1ක් උණුවතුරට දමා උගුර සේදීම.
  6. උණුසුම් පාන වර්ග බීම.
  7. විවේකය.

ප්‍රතිකාර

  1. ලුණු දියරෙන් උගුර සේදීම.
  2. සර්ව විෂාදිය, කෝලශෙලෙස්මාව, බටු තෙල්, උගුරේ ආලේප කර සෙම හැරීම.
  3. කළු දුරු, කුඩුකර පොට්ටනියක් බැද උගුරේ තබා සෙම හැරීම
  4. කලු හබරල අල ලුනු දියෙන් ගල ග‍ා සෙම් ගෙඩි වල ඇතිල්ලීම.
  5. ගම්මිරිස් බැද කුඩු කර තේ හැදි 1ක්, ලුනු තේහැදි 1ක් උණුවතුරට දමා උගුර සේදීම.
  6. උණුසුම් පාන වර්ග බීම.
  7. විවේකය.

උරක්ෂත

උරක්ෂත යන්නේ තේරුම පපුවේ හෙවත් උරසේ පෙනහලු වල තුවාල යන්නයි. පෙනහළු වලත් ශ්වාස නාල වලත් තුවාල හට ගැනීම මින් අදහස් කෙරේ. නියුමෝනියවෙ, දීර්ඝ කාලයක් පැවති ඇදුම, ක්ෂය රෝගය, නිතර නිතර පෙනහළු විෂ බීජයන්ගේ ග්‍රහනයට හසුවීම, සන්නිපාත උණ ආදී රෝග නිසා මෙබදු තත්වයන් ඇති විය හැක. මීට අමතරව ශරීරයේ ධාතු ශක්තිය පිරිහී යාම, තැලීම, පහර වැදීම, වැටීම ආදිය නිසාත් මෙබදු තුවාල ඇති විය හැකි බව පෙනේ. වර්තමානයේ ඇති වී තිබෙන කාර්මික දියුණුව නිසා කර්මාන්තශාලා  වලින් පිට වන විෂදුම්, විෂවායු, රසායනික දියර වර්ග ආදී පරිසරය දූෂනය වන හේතුන්ද පෙනහැලි ගත තුවාල ඇති වීම‍ට හේතු කාරක වෙයි.

නිතර පවතින සුළු උණ, ඇග සීතල කිරීම, සෙම සමග ලේ කාරා දැමීම, කැස්ස සමග ලේ පිටවීම, පපුව පෙදෙසේ පවතින වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, බෙල්ල පෙදෙසේ කුද්දටි මතුවීම ආදී ලක්ෂණ පවතී නම් පෙවහළු තුවාල තිබේදැයි සැක සිතිය යුතුය. මේ රෝගයේදි වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබා ගත යුතුය.

ප්‍රතික‍ාර

  1. ආඩතෝඩා කොළ, වැල්මී, කටුවැල් බටු, තිප්පිලි, රසකිද, මදුරුතලා දළු කෂාය බීම.
  2. කුරුදු පොතු, අල, එනසාල්, කොත්තමල්ලි, සමභාගව චූර්ණය මී පැණියෙන් අනා ලේහ කිරීම.
  3. එලුකිරි වලට කැප්පෙටියා ලාකඩ මදට 5ක් දම‍ා දිනපතා බීම.
  4. වැල්මී, රත්හදුන්, මංචාඩි 5බැගින්, එළකිරෙන් අඹරා ඊටම දියකර බීමට.
  5. වැල්මී, මුද්දරස්පලම්, සීනි, සුකිරි, සමව ගෙන අමරා ආඩතෝඩා කොළ තැම්බූ වතුරෙන් වරකට තේ හැදි ½ දිනපතා උදය - සවස
  6. වැල්මදට, මුරුවදුල් මුල්, තුවරලා, දියමිත්ත මුල්, තිප්පිලි, වියළි කහ සමව ගෙන චූර්ණය මී පැණියෙන් ලේහ කිරීමට.
  7. වැලුක් මුල්, නෙළුම් අල, නෙළුම් ඇට, නෙළුම් රේණු, සුදුහදුන් මේ සියල්ල කිරිවලට දමා කකාරා මී පැණි දමා දිනපතා උදය බීම.
  8. ඉත්තෑකූරූ පිලිස්සු අළු, සීනි, මීපැණි, එළගිතෙල් වලින් අනා බීම.
  9. ආඩතෝඩා පංචාංගය වණ්ඩුවේ තම්බා මිරිකා බීම.
  10. අර්ඩුනාරිෂ්ටය මේස හැදි 1ක් උදේ සවස .
  11. කුඹුක් පොතු කිරි කෂාය.

වලක්වා ගැනීම

  1. සාමාන්‍යයෙන් ආහාරයට සමබර හා සමබල ආහාර ගැනීම.
  2. අධික වෙහෙස වීමෙන් වැළකීම.
  3. තැලීම්, බිදීම් ආදියෙන් ප්‍රවේශම් වීම.
  4. මානසික තැවුල් ආදියට පත් නොවීම.
  5. අධික බර ඉසිලීම් ක්‍රම, වරදවා ව්‍යායාම වල යෙදීම ආදියෙන් වැලකීම.
  6. දුම් පානයෙන් වැළකීම.

රාජයක්ෂමා

මෙම වචන කිහිපයෙහි තේරුම් කිහිපයක් තිබේ. ශරීරය කෙට්ටු කරන මහා රෝගය, රෝග අතුරෙන් ප්‍රධාන රෝගය, රෝගියාගේ ක්‍රියාශිලී බව අඩු කරන රෝගය මින් සමහරකි. කෙසේ වුවත් සාමාන්‍ය ව්‍යවහාරයේදි රාජයක්ෂමා රෝගය ක්ෂය රෝගය විය හැකියැයි අදහස් කරත්.

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ ශරීරය ක්‍රමක්‍රමයෙන් කෙට්ටු වීම, ලේ සහ සැරව සහිත කැස්ස, රාත්‍රියට දහඩිය දැමීම  සහ සුළු වශයෙන් උණ ගැනීම, බෙල්ලේ කුද්දැටි මතු වීම ආදියයි. රෝගය ප්‍රධාන වශයෙන්ම පවතින්නේ පෙනහළු ආශ්‍රිතවය

රාජයක්ෂමා රෝගය බරපතල තත්වය කරා වර්ධනය විය හැකි රෝගයකි. එහෙයින් මෙම රෝගයට නිවසේදී අත්බෙහෙත් කරමින් සිටීම නුවනට හුරු නොවේ. රෝගය ගැන සැක ඇති වූ මුල් අවස්ථා වේදීම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත යුතුය.

මෙහිදී දක්වනුයේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අතර, ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට, පෙනහළු වල දුර්වල තත්වය මග හරවා ගැනීමට සහ කරදරකාරී කැස්ස, ලේ පිටවීම වැනි ලක්ෂණ නැති කිරීම සදහා යෙදිය හැකි ඖෂධ යෝග කිහිපයකි.

  1. රටඉදි, තිප්පිලි, මුදරස්පලම්, අරළු, කර්කටකශ්‍රීහිං, වැල් කහඹිලියා මුල් සමවගෙන මීපැණියෙන් අඹරා වරකට තේ හැදි 1ක බැගින් දිනකට දෙවරක් එළුකිරි ස්වල්පයක් සමග.
  2. වියළි ඉගුරු, රත්නිටුල්, විළද, තිප්පිලි, නෙල්ලි, උක්හකුරු සමව ගෙන මීපැණි සහ එළගිතෙල් අනා ලේහ කිරීමට.
  3. තිප්පිලි, ඉගුරු, බුළු, සමව ගෙන මීපැණියෙන් පෙර සේ ගැනීම.
  4. තිප්පිලි, නෙල්ලි, සහිද ලුණු, කුඩු කර මීපැණියෙන් අනා වරකට තේ හැදි 1බැගින් උදය සවස.
  5. ආඩතෝඩා කොළ කොටා ගත් යුෂට මීපැණි දමා බීමට.
  6. තලිස්පතුරු කලං 12 කෂාය කර බීම.
  7. කුඹුක් පොතු වියළා චූර්ණය කර, එය ආඩතෝඩා පත්‍ර යුෂින් අමරා මීපැණියෙන් ලේහ කිරීම.
  8. සිරිවැඩි බැවිල චුර්ණ ග්‍රෙන්ස් 45 සිට අවුන්ස 2 දක්වා වැඩිකර දෙමින් එළුකිරි බීම.
  9. නික මුල් සහ කොළ තැමිබූ වතුරට එළගිතෙල් දමා බීම.

ආහාර විහරණ

  1. පෝෂ්‍යදායක වු ආහාර පාන ගැනීම ඉතා වැදගත්ය.
  2. එළුමස් සුප්, කුකුල් මස් සුප් ආදි සුප් වර්ග .
  3. විවේකය (ශාරීරික හා මානසික)
  4. රාත්‍රි නිදි වැරීම නොකළ යුතුය.
  5. කය වෙහෙසා වැඩ කිරීම දුර ගමන් බිමන් යාම අති මෛථුනය අහිතකර ය.
  6. රසායන සහ තර්පණ ගුණ ඇති ඹෟෂධ සේවනය දීර්ඝ කාලීනව යෙදිය යුතුය.
  7. මල, මුත්‍ර ආදි ස්වාභාවික වේග නොවැලැක් වීම.