ළමා රෝග

බාල රෝග

ප්‍රතිකාර ගැනීමට රෝහල් කරා ගෙන එනු ලබන ළමයිනගෙන් වැඩි දෙනෙකු වළක්වා ගත හැකි රෝග වලින් පෙලෙන බව පෙනේ. මල බුරුල්ව යාම, වමනය, පණුරෝග, මල සමග ලේ සහ හීදං පිටවීම, සෙම්ගෙඩි ඉදීමීම සහ ඇදුම අද බහුලව දක්නට හැකි මෙවැනි රෝග කිහිපයකි.

ළමා රෝග වලක්වා ගැනීමේ දී දරුවාගේ සෞඛ්‍ය, පෝෂණය, ඇදුම් පැලදුම්, පිරිසිදුකම, නිවස සහ අවට පරිසරය, පිළිබදව සැලකිලිමත් විය යුතුය. ළදරුවා පෝෂණය කිරීමේදි මව විසින් පළමු කොටම තම දරුවාට මව් කිරි දීමට වග බලා ගත යුතුය. සියළු කිරි වර්ග අතුරින් මව් කිරි ශ්‍රේෂ්ඨය. සියළුම කිරි වර්ග අතුරින් දරුවා‍ට වඩාත්ම හිතකර වන්නේ මව් කිරිය. එය දිරවීම පහසුය. විෂ බීජ රහිතය. පිටි කිරි දීමේදි මෙන් බෝතල් උණු කිරීමක් ආදිය අවශ්‍ය නොවන නිසා මව්කිරි දීමද පහසුය. මව්කිරි දීමේදි පිටි කිරි දීමේදි මෙන් මුදල් වැය නොවේ. දරුවාට අවශ්‍ය සියළු පෝෂ්‍ය පදාර්ථ මව්කිරි වල අඩංගුය. මව්කිරි බොන දරුවන්ට බෝවෙන රෝග ඇතිවන අවධානම ඉතා අඩුය. දරුවා තුල ස්වභාවයෙන්ම ඇතිවන ප්‍රතිශක්තිය අධිකය. මවගේ ආදරය දරුවාට නොමදව ලැබෙන හෙයින්, එයින් දරුවාගේ මානසික වර්ධනයට විශේෂ බලපෑමක් ඇති කරයි. කුඩා දරුවා අනාගතයේදී රටට වැඩදායක කරුණාවන්ත පුද්ගලයෙකු බවට පත් කීරිමට මෙය බොහෝ විට හේතු වේ.

බාල කාලය ලෙස උපතේ සිට වයස අවුරුදු 16 දක්වා කාලය ගණන් ගත හැක. සාමාන්‍යයෙන් දරුවෙකු වැඩිවිය පැමිණෙන තෙක් කාල 'බාල කාලය' වශයෙන්  සැලකිය හැක. මෙම බාලකාලයේදී දරුවන් විවිධ රෝගාබාධයන්ට ගොදුරුවිමට ඉඩ තිබේ.

බාල කාලය

  1. කිරෙන් පමණක් වැඩෙන කාලය.
  2. කිරි සහ බත් වලින් වැඩෙන කාලය.
  3. ඝන ආහාර වලින් වැඩෙන කාලය ලෙස කොටස් 3කට බෙදිය හැක.

වයස අවුරුද්ද දක්වා කිරෙන් වැඩෙන කාලය ලෙස දක්වා ඇත. එම කාලයේදී හට ගන්නා රෝගයන් ලෙස, පෙකනිය පැසවීම, සෙංගමාලය, රතගාය, මලබද්ධය, මුත්‍රබද්ධය, උල්ලෝගම්, කිරි වමනය, අතීසාරය, බාලග්‍රහ දෝෂ, සහ ඇස් රෝගද විය හැක.

වයස අවුරුදු 1-3 දක්වා කිරි සහ බත්වලින් වැඩෙන කාලයයි. එම කාලය තුළ වලිප්පුව, අජීර්ණ, පණු අමාරු, බොවන රෝග හා වැටීම්, තැලීම් ආදිය බහුලව සිදුවේ. අවුරුදු 3 සිට වැඩිවිය පැමිණෙන තෙක් ඇති තුන්වන කාලයේදී බෝවන රෝග, සෙම්ගෙඩි, ඉදීමීම, ආමවාත, ඇදුම සහ මාන්දම යන රෝග බෝහෝ විට හට ගනී.

පෙකණිය පැසවීම

අලුත උපන් දරුවන්ට ඉතා පහසුවෙන් ඇති විය හැකි රෝගයකි. දරුවා බිහි වීමේදි පෙකණිය කැපු පසු එහි අගල් 2ක් පමණ දිගැති කොටසක් දරුවාගේ පෙකනිය සමග ඉතිරි වේ. දරුවා ඉපදී සතික් තුළ මෙය ගැලවී වැටිය යුතුය. මෙම කාලය තුළ සැරවා ඇති විය හැකි රෝග බීජයක් එතැනට ඇතුළු වීම නිසා එය පැසවීමට පටන් ගනී. ඇතැම් විට කිසිවෙකුටත් නොදැනීම පෙකනිවැල යටින් පැසවයි. මේ නිසා එය වැටෙන තුරු දිනපතා පෙකණිවැල උස්සා එය පෙකණියට සම්බන්ධ වන තැන පවිත්‍ර කළ යුතුය. නැතහොත් පිටගැස්ම ඇති වීමට බෝහෝ විට ඉඩ තිබේ.

  1. පෙකණිය පැසවා ඇත්නම් එයද පිරිසිදු කළ යුතුය.
  2. කුඹල් මැටි කබලේ ලැද මී පැණියෙන් අඹරා ගාන්න.
  3. දරුවාගේ ලේ පිරිසිදු වීමට වැල්මී, ලුනුවිල, රත්මල් මොට්ටු කලං 1 බැගින් ගෙන තලා නටන වතුර මේස හැදි 3ක් දමා තබා නිවා පෙරා ටික ටික පොවන්න.

පෙකණිය වන වීම

  1. දං මල් කබලෙන් බැද තල තෙලෙන් අඹරා පෙකනියට එලනු.

තෙල් වල ගැහෙන්නේ නැති විට

එල කටරොළු මල් තල තෙලෙන් මලවා හිසට දමනු.

වලිප්පුව

දරුවාගේ මොළයේ පීඩාවන් නිසා හෝ වෙනත් ශාරීරික රෝගයක් නිසා හෝ වලිප්පුව හට ගත හැක. මෙහිදී ඇතිවන ප්‍රධාන ලක්ෂණය දරුවාගේ දත, කට පියවී, සිහිය නැති වී ශරීරයේ ගැස්මක් හට ගැනීමයි. මෙවිට බොහෝ දෙමව්පියන් කලබල  වන නිසා නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් දරුවා මරණයට පත් වීමට ඉඩ තිබේ. වලිප්පුවට හේතුව අනුව ප්‍රතිකාර කළ යුතුය. උණ වැනි ශාරීරික ආබාධයක් නොමැති නම්, උපන් අළුත දරුවෙකුට වලිප්පුව ඇති වීමට බෝහෝ දුරට හේතු වන්නේ දරුවාගේ මොළයේ ආබාධයකි. මෙහිදී දරුවාගේ දත්වලට දිව සැපීමට ඉඩ නොදී තේ හැදි මිටක රෙදි කැබැල්ලක් ඔතා දත් අතරට තබන්න. දරුවාට සිහිය නොමැතිනම් කිසිවක් පොවන්න එපා.

  1. දරුවාට උණ ඇති නම් හිස අයිස් වතුරෙන් තෙමන්න. නැතහොත් සීතල වතුරෙන් විටින් විට හිස තෙමන්න.
  2. දෙපා උණු දියෙන් තෙමන්න.
  3. උණ ෆැරන්හයිට් අංශක 101ට වඩා වැඩි වූ පමණින් වලිප්පුව හට ගන්නා දරුවෙකුට උණ අංශක 100 වන විටම හිස ශීතල කරන්න.
  4. පස්තෙල් රත් කර බෙල්ල දෙපස ඇලපත් සහ සන්ධි වල ගාන්න.
  5. කොහොඹ කොළ, නික කොළ, වේලා කොළ, යක්වනස්ස කොළ, ආඩතෝඩා කොළ, වද කහ, සුදුළූණු, කොටා පස් තෙල් දමා අනා වණ්ඩුවේ තම්බා ගත් ඉස්මට සීතාරාම ගුලි 1-3 දියකර පොවන්න.
  6. නික කොළ, ආඩතෝඩා කොළ, සුදුළූණු, කොටා පස් තෙල් සහ මාත්තු පහ ගුලි 12 දමා දියකර කකාරා පොට්ටනි බැද පස්තෙල් වලින්ම තෙමා වණ්ඩුවේ රත් කර බෙල්ල දෙපස තවන්න.

උණ

බාලයන්ට රෝගයක් හෝ වෙනත් ‍රෝගයක ලක්ෂණයක් වශයෙන් උණ හට ගනී. ප්‍රතිශ්‍යාව ඇතිව හට ගන්නා උණ ඉතා සුලභව දරුවන්ට හට ගන්නා රෝගයකි. දරුවන්ට දින ගණනක් උණ ඇති විට බෝවන ‍රෝගයක් දැයි සැක කිරීම නුවනට හුරුය. බෝහෝ විට සරම්ප, කම්මුල්ගාය, පැපොල සහ සෙංගමාලය වැනි රෝග වල මුල් අවස්ථාවේදී දින කිහිපයක් උණ තිබී පසුව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

උණ ඇති විට දරුවෙකු නොසන්සුන් වේ. හිසරදය, ආහාර අප්‍රිය කිරීම හට ගනී. උණ වැඩි වූ විට වලිප්පුව හෝ වමනය හට ගනී. උණ බිය විය යුතු රෝගයක් නොවෙතත් උණ වැඩි වූ විට දරුවාගේ හිස ශීතල කිරිමෙන් හා ඖෂධ යෙදීමෙන් උණ අඩු කළ යුතුය. උණ ඇති දරුවෙකුට බත් වැනි බර ආහාරයක් නොදෙන්න.

පුරුදු කිරි වර්ගයක් හෝ ලුනුකැද පොවන්න. හැකිතරම් දියර වර්ග පානය කරවන්න. වැඩියෙන් මුත්‍ර පිටවන විට උණ ඉක්මනින් අඩුවේ. මේ නිසා උණු කර නිවා ගත් ජලය පොවන්න. පිටිකිරි තනන විට වෙනදාට යොදන ප්‍රමාණයට වඩා අඩුවෙන් පිටි දිය කර කිරි තනා දෙන්න.

සෙම් ගතියක් නොමැතිනම් තැඹිලි වතුර, දොඩම් ඉස්ම, දෙහි ඉස්ම දිය හැක.

  1. කොත්තමල්ලි තම්බා සීනි දමා පොවන්න.
  2. දෙසදුන් කල්කය කොත්තමල්ලි වතුරෙන් දෙන්න.
  3. කටුවැල් බටු, කටුකරෝසන, සුදුරු, කළුදුරු, සිරිතේක්කු, තැම්බූ වතුර හෝ කෂායට ශර්කරා දී කල්කය දිය කර පොවන්න.
  4. පාවට්ටා මල්, කලාදුරු අල, වැල් තිබ්බටු මුල්, වැල්මී, කොත්තමල්ලි, කෂායට ජීවක කල්කය දමා දෙන්න.
  5. වියළි ඉගුරු, වැල් තිබ්බටු, කලාදුරු අල, සැවැන්දරා මුල්, තිප්පිලි, පත්පාඩගම්, කෂාය
  6. ජීවක කල්කය උදු ඇටයක් පමණ දිනකට දෙවරක් පානය.

කැස්ස

මෙය වයස අවුරුදු 10න් පහළ දරුවන්ට බහුලව වැලදෙන රෝගයකි. දින ගණන් නොව මාස ගණන් කැස්ස පවතින ළමුන් අප දැක ඇත. කැස්ස භයානක රෝගයක් නොවුනත් පෙනහළු වල සෙම පරණ වීම නිසා කල්යාමේදී ඇදුම හට ගැනීමට ඉඩ තිබේ.

නිතර කැස්ස සහ සෙම් අමාරු ඇතිවන දරුවන්ට අයිස් වතුර, අයිස් ක්‍රීම්, කෙසෙල් ගෙඩි වර්ග ආහාරයට නොදෙන්න. පුහුල්, පිපිඤ්ඤා, බණ්ඩක්කා, නිවිති, මුකුණුවැන්න, වැනි සෙම් වඩන ආහාරද අහිතකරය. නිතරම උණු දිය පානයට දෙන්න. ඇල් දිය නෑවීම, පිනිබෑම, වැස්සේ තෙමීම සහ තෙත පො‍ළොව ස්පර්ශ කිරීමද අගුණය.

ප්‍රතිකාර

  1. කටුවැල් බටු, සුදුරු, කළුදුරු, කටුකරෝසන, සිරිතේක්කු, ආඩතෝඩා මුල් කෂාය.
  2. වියළි ඉගුරු, කොත්තමල්ලි, එලබටු, කටුවැල් බටු, කෂාව තිප්පිලි කුඩු දමා පානයට.
  3. බිං කොහොඹ, කොහොඹ පොතු, එලබටු මුල්, කටුවැල් බටු, වියළි ඉගුරු.
  4. කලාදුරු අල, පත්පාඩගම්, වැල් කහඹිලියා, කටුවැල්බටු, වියළි ඉගුරු කෂාය.

ඇදුම

දරුවන්ගේ සෙම පරණවීම නිසා බෝහෝ විට ඇදුම හට ග‍නී. මෙහිදී දරුවා අපහසුවෙන් හුස්ම ගැනීම සහ පිටකිරීම සිදුකරයි. එවිට පපුවේ පිඹින්නාක් වැනි ශබ්දයක් හට ගනී. කැස්ස ඇති වේ. ඇතැම් විට උණද ඇතිවිය හැක. කැස්ස සමග ඇතැම් විට සෙම වමනය කරයි. සෙම පිටවූ පසු දරුවාට පහසුවක් දැනේ. ශ්වසන අපහසුව වැඩිවන විට හුස්ම ගැනීමේදි නාස් පුඩුද ක්‍රියා කිරීමට පටන් ගනී. දරුවාගේ පපුව ඉක්මනින් උස් පහත් වේ. බොහෝ දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙවිට දරුවා හුස්ම ගැනීම පහසු වන පරිදි කොට්ට කිහිපයක් තබා ඒවාට දරුවාගේ පිට පැත්ත හේත්තු කර තබන්න. ඇදේ නිදා ගත් විට හුස්මගැනීම තවත් අපහසු වන නිසා බොහෝ දරුවන් එසේ හේත්තු වීමට කැමති වේ. ඇදුම උත්සන්න වූ විට ඇතැම් දරුවන් නිල් පාට වේ. මෙවිට රෝහලකට ගෙන ගොස් වහාම අම්ලකර වායුව ලබා දෙන්න.

ප්‍රතිකාර

  1. කටුවැල් බටු, කොල්ලු, ආඩතෝඩමුල්, වියළි ඉගුරු කෂාය.
  2. සිරිතේක්කු, වියළි ඉගුරු කෂාය.
  3. තිප්පිලි, බුලු, ආඩතෝඩා මුල්, අමු ඉගුරු, වැල් කහඹිලියා කෂාය.
  4. බටු තෙල් පපුවේ ගාන්න.
  5. තල තෙල් සහ අබ තෙල් එක පමන ගෙන කපුරු හෝ සහිද ලුණු කුඩු ස්වල්පයක් දමා රත්කර පපුවේ ගාන්න.
  6. වයස මාස 8න් පසු දරුවන්ට ඇඹුල් දොඩම් ඉස්ම අමු ඉගුරු ඉස්ම සහ මී පැණි එක පමණ බුද්ධ රාජ කල්කය ග්‍රේ 0 ක් දියකර ටික ටික පොවන්න.

සෙම් ගෙඩි ඉදිමීම

සෙම් ගෙඩි ඉදිමීම

වසය අවුරුදු දහයෙන් පහළ දරුවන්ට නිතර නිතර හට ගන්නා රෝගයකි. බෙල්ල දෙපස සෙම් ගෙඩි ඉදිමීම, සෙම්ගෙඩි යන ප්‍රසිද්ධ නාමයෙන් හැදින්වේ. මෙහිදී දරුවාට උණ හට ගත හැක. උගුරේ වේදනාව සමග ගිලීම අපහසු වේ. ඇතැම් දරුවන් වමනය කරයි. මෙම රෝගයේ ඇති භයානක කමනම් පසුව සන්ධි ඉදිමීම, හෘදයේ විඩා ඇති කිරීමට ඇති ඉඩකඩයි.

  1. දරුවා උණුසුම්ව තබන්න.
  2. පානයට දෙන සියල්ල උණුසුම් විය යුතුය.
  3. ශීතල ගුණැති ආහාර පාන සහ සිසිල් ජලය නොදෙන්න.

ප්‍රතිකාර

  1. අක්ක්‍රපට්ටා, වැල්මී, කටුකරෝසන, කෙලිද හාල්, කළුදුරු කෂාය.
  2. කටුකරෝසන, අතිවිඩයන්, දේවදාර, කලාදුරු අල, කෙලිද හාල්, දියමිත්ත කෂාය.
  3. සර්වවිසාදි තෛලය හෝ කෝල ශෙලෙස්මා තෛලය පිටත සහ ඇතුලත ගෑම.
  4. විනාකිරට මී පැණිදමා උගුර සෝදා දැමීම.

රතගාය

රත යනු ලෙයයි. ගාය යනු ලෙඩයි. ලේ කෝපය නිසා ළදරුවාට වැළදෙන රෝගයකි.

මෙය වැඩිපුර හමේ ලක්ෂණ පෙන්වන රෝගයකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ගර්භනි කාලයේ හෝ මව්කිරි දෙන කාලයේ මව ගන්නා තීක්ෂණ, උෂ්ණ, ලේ කෝප කරන ආහාර පානයි. රතගාය නොයෙක් ආකාරයට හට ගත හැක. හමේ බිබිලි හට ගෙන ඇතැම් විට ඒවායේ දියර පිරී පුපුරා ගොස් තුවාල බවට පත් වේ. ඇතැම් බිබිලි පැසවා සැරව පිටවේ. ඇතැම් විට බිබිලි ඇතිවන තැන ඉතා ඝන වේ. සැරවද ඇතිවිය හැක.

මලබද්ධය සහිතව රතගාය ඇතිවිට

  1. අරළු, වැල්මී, ලුණුවිල, කෂාය කර දෙන්න.
  2. අරළු, රත්හදුන්, රත්මල් කැකුළු, වදමල් කැකුළු, ලුණුවිල කෂාය කර දෙන්න.
  3. රත් තම්පලා කොළ යුෂ කකාරා ගෙන්දගම් ස්වල්පයක් මිශ්‍රකර රතය ඇති ස්ථානයේ ආලේප කරන්න.

ස්පර්ශයෙන් සංක්‍රමණය වන හෙවත් බෝවන චර්මාබාධ ළදරුවාට ඇතිවන විට

ප්‍රතිකාර

  1. වියළි කහ, වෙනිවැල් ගැට, කොකුම් පොතු සමානව ගෙන කුඩු කර පිරිසිදු තලතෙලෙන් පැසවා හෙවත් තලතෙල් දමා සිදවා ගන්න.
  2. අමු කහ, දුම්මැල්ල, අරළු, බුලු, නෙල්ලි, කොහොඹ පොතු කෂාය කර දෙන්න.

දද

  1. තක්කාලි ඉස්මට සීනාක්කාරන් කුඩු ටිකක් දමා වරින් වර දදය තෙමන්න.
  2. සූරිය පොතු, මදටිය පොතු, රතඹලා පොතු, අරළු කෂාය සවිද ලුණු දමා දෙන්න.
  3. රත්හදුන්, රත්මල් කැකුළු, ලුණුවිල, වැල්මී අරළු කෂාය.

ගෑමට

  1. රත්තම්පලා කොළ සහ මදටිය කොළ, පොතු කොටා මිරිකා ඉස්ම ගෙන එයට රත්හදුන් උරගා දමා කකාරා ගෑමට.
  2. රතතෙල
  3. ගල්රතට - කුඹල් මැටි, කුඹුරු කොළ ඉස්මෙන් අඹරා එයටම දියකර කකාරා ගෑම.

සේදීමට

  1. අනෝදා කොළ තම්බා සේදීමට.
  2. ලුණුවිල තම්බා සෝදන්න.
  3. කොහොඹ කොළ තම්බා සෝදන්න.

කුකුණක රෝගය

ළදරුවන්ට කුකුණක නමින් හැදින්වෙන ඇස් ඇරීමට දුෂ්කර මේ රෝගය දූෂිත තනකිරි පානයෙන් හට ගනී. මෙහිදී ඇසේ කැසීම බහුල වේ. වරින් වර කබ කදුළු වහනය වේ. ළදරුවා නළල, ඇස්බැම, නාසා යන තැන් ඝර්ෂණය කරයි. අලෝකය අව්ව බැලීමට අකමැති වේ. ඇස් විවෘත කිරීමටද අපහසු වේ.

ප්‍රතිකාර

  1. සමන් පිච්ච මල් පොට්ටනි බැද තැඹිලි ගෙඩියේ තියාගෙන වරින් වර ඇසට තෙපුල් දෙන්න.
  2. කැබෙල්ල පොතු ස්වරසය (සුඹුල), අරළු, බුළු, නෙල්ලි, කෝමාරිකා මද සමඟ ගෙන කොටා පොට්ටනියක් සාදා තැඹිලි වතුරේ බහා ඇසට තෙපුල් දෙන්න.
  3. අරළු, බුළු, නෙල්ලි, ලොත්, සාරණ මුල්, ඉගුරු, එළබටු මුල්, කටුවැල් බටු කුඩුකර අඹරා මදක් රත් කර ඇස වටේ ආලේප කරන්න.
  4. කීන වතුර (කීන ගහ පෙත්තට කපා පිරිසිදු භාජනයක් තබා එයින් වෑස්සෙන වතුර) ඇසට බින්දු කීපයක් එලන්න. දින කීපයක් මෙසේ කරන්න.

උල්ලෝගම්

කවකාණු (දිලීර) ජනිත රෝගයක් වන මෙහි දී දිවේ සුදු පාට සිවියක් බැදේ. මාසක්කා තන කිරෙන් ගලගා උල්ලෝගම් තරමක් පාකයට ගිය විට පිස දමන්න.

  1. පුවක්, මාසක්කා, රතුළූණු, අරළු, කලාදුරු, වැල්මී කෂාය.
  2. මාසක්කා,‍ ‍පෙතිපුවක්, වැල්මී, රතුළූණු, කළුදුරු, අරළු, කෂාය කර එළගිතෙල් දමා දෙන්න.
  3. ජම්බු පොතුතක් කලා එම යුෂින් දිව මැදීම.
  4. පුස්කර අළු, මී පැණි, කෝමාරිකා යුෂ කලවම් කර දිව මැදීම.

නභ්‍යතන වෘද්ධිය

ලපටි පුවක් මල්, පෙතිතෝර කොළ, අමුකහ කොටා පුවක් කොලපුව තුළ බහා උණු අළු පල්ලේ තම්බා නාභිය මත තබා දින කිහිපයක් බදින්න.

බාලක ගුද භ්‍රංශය

ගල්කූර මුල්, පිල මුල්, රතුළූණු, රසකිද, බැවිල මුල්, පොල්පලා මුල්, කෂාය කර මී පැණි දමා දෙන්න.

තෙලක්

සියඹලා ඇට පොතු, දදකිරීය කලං 12 බැගින් ගෙන‍ පොල් ගෙඩි දෙකක පොල් සමග කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ඊට කළුදුරු, සුදුරු, සුදුළූණු, අසමෝදගම් කලං 3 බැගින් ගෙන අඹරා දියකර තෙල් පදමට සිද, බඩවැලේ ගා ඇතුල් කරන්න. මේ විදියට සතියක් දෙකක් කරන්න.

දුමක්

කෙටල අලය ගෙන ලියා වියළා චූර්ණය කර අගුරු කබලට දමා අද යට දුම් අල්ලනු.

වමනය

ළදරු හා ළමා කාලය තුළදීත් බහුලව හටගන්නා රෝගයකි. උපන් අළුත දරුවෙකු මව්කිරි බීමෙන් පසු කිරි වමනය කරයි නම් එයට ප්‍රධානම හේතුව කිරි සමග වාතයද උදරයට ඇතුළු වීමයි. මෙවිට මව්කිරි නොගැලපේ යැයි සිතා වෙනත් කිරි වර්ගයක් දීමද අනුවණකමකි. දරුවා උපදින විටම ගල නාලයේ පැවති විකෘති තත්වයන් නිසාද  උපන් අළුත දරුවෙකුට වමනය ඇති වේ. කිරි අජීර්ණ විම, අධිකව කිරි පෙවීම, ආසාදන තත්වයන් වැනි විවිධ හේතු නිසාද වමනය ඇති වේ. ඇතැම් දරුවන්ට වමනය සමගම අතීසාරයද ඇති වේ. මෙහිදී දරුවාගේ ශරිරයේ දියර ඉක්මනින් අඩුවීමට ඉඩ ඇති හෙයින් ඉක්මනින් දියර වර්ග ලබාදිය යුතුය. වමනයේදී දරුවාට දියර වර්ග ටික ටික පෙවීම ඉතා වැදගත්ය. දියර එකවර වැඩි ප්‍රමාණයක් දුන් විට නැවත වමනය හටගනී. හේතුව අනුව ප්‍රතිකාර කළ යුතුය. නොකඩවා වමනය කරන දරුවෙකුට අයිස් වතුරට ග්ලුකෝස් දියකර ටික ටික පොවන්න. වතුර වීදුරුවකට සීනි මේස හැන්දක්, ලුණු ටිකක්, සහ ආප්ප සෝඩා ටිකක් දියකර පෙවීමද හිතය.

  1. ක්ෂීරාජීර්න ගතියක් ඇත්නම් සුරන් විදුර. ජීවානන්ද, පලුගුලි, වැනි යමක් මාත්‍රානු සාරයෙන් මවිකිරි, අමු ඉගුරු යුෂ, මී පැනි, උණු දිය වැනි යමක් සමග දිය හැක.
  2. අසමෝදගම් ස්ප්‍රීතු කර්පුරාසවය වැනි ඖෂධ බිංදු 5ක් පමණ වතුර ටිකකට මිශ්‍ර කර පෙවීම.
  3. දෙහි පොතු හෝ ඉගුරු කොටා ගත් ඉස්මට සිතාරාම වටී හෝ සුරං විදුර ගුලි  1 - 2 දියකර පොවන්න.
  4. කුරුදු පොතු තැම්බූ වතුර ටික ටික පොවන්න.
  5. සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා එයටම දියකර මී පැණි දමා පොවන්න.
  6. පැපොල් කිරි බිංදු 2 - 3 ක් පොවන්න.
  7. ක්ෂීරාජීර්න ගතියක් ඇත්නම් සුරන් විදුර. ජීවානන්ද, පලුගුලි, වැනි යමක් මාත්‍රානු සාරයෙන් මවිකිරි, අමු ඉගුරු යුෂ, මී පැනි, උණු දිය වැනි යමක් සමග දිය හැක.
  8. අසමෝදගම් ස්ප්‍රීතු කර්පුරාසවය වැනි ඖෂධ බිංදු 5ක් පමණ වතුර ටිකකට මිශ්‍ර කර පෙවීම.
  9. දෙහි පොතු හෝ ඉගුරු කොටා ගත් ඉස්මට සිතාරාම වටී හෝ සුරං විදුර ගුලි  1 - 2 දියකර පොවන්න.
  10. කුරුදු පොතු තැම්බූ වතුර ටික ටික පොවන්න.
  11. සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා එයටම දියකර මී පැණි දමා පොවන්න.
  12. පැපොල් කිරි බිංදු 2 - 3 ක් පොවන්න.

පනු වමනයට

වදකහ, අසමෝදගම්, වලගසාල්, කෑල ඇට හෝ එරබදු ඇට මද, ඉගුරු පියලි, කංසා, කරාබු නැටි, වසාවාසි, සාදීක්කා, එකට අඹරා උණුවතුරෙන් දියකර තේ හැදි ½ ක් පොවන්න.

අතීසාරයට

දරුවාගේ මල බුරුල්ව වැඩි වාර ගණනක් දියර ගතියෙන් පිටවීම අතීසාරය යනුවෙන් හැදින්විය හැක. උපන් අළුත දරුවෙකුට හෝ නොමේරූ ළදරුවෙකුට අතීසාරය වැළදීම නිසා සිරුරේ දියර අඩු වීමෙන් මිය යාමට පවා ඉඩ ඇත. අතීසාරයේදී ඇතැම් විට මල සමග හීදං සහ ලේ පිට වේ. ළමයින්ගේ අතීසාරයේදී තැඹිලි වතුර, බැදිහාල් කැද, පොරි කැඳ පානයට දෙන්න.

  1. ඉරවේරිය සහ කොත්තමල්ලි තැම්බූ ජලය.
  2. අලුත් වලං කටු උතුරවා නිවාගත් ජලයට දමා දීම.

පණුවන් නිසා හට ගන්නා අතීසාරයට

  1. කලාදුරු අල, කෙ‍ලිද හාල්, ගොටුදඩු අතිවිඩයන්, කෂාය සාමාන්‍ය අතීසාරයට
  2. අසමෝදගම්, පත්පාඩගම්, කලාදුරු අල, අමු ඉගුරු, වදකහ කෂාය.
  3. කහ, වෙනිවැල් ගැට, එලබටු මුල්, කෙලිද හාල් කෂාය මී පැණි දමා දීම.

මල සමග ලේ සහ හීදං පිටවීම

  1. ගොටුකොළ, හින් උදුපියළිය, බිං කරල්හැබ කොටා, දෙහි ඇඹුලෙන් අනා වණ්ඩුවේ තම්බා මිරිකා ගත් ඉස්මට සුරංවිදුර ගුලියක් දියකර දෙන්න.
  2. ගොටුකොළ, උදුපියළිය, බිං කරල්හැබ, කුඹුරු දළු එකට දමා කොටා දෙහි ඇඹුලෙන් අනා වණ්ඩුවේ හෝ උණු අලු යට තම්බා මිරිකා ගත් ඉස්ම පානයට.
  3. කුමුරු මුල්, වදකහ, පොල්පලා මුල් කෂාය.

මලබද්ධය

දරුවෙකු ඉපදී සාමාන්‍යයෙන් පැය 24ක් තුල මලපහ කරයි. දිනපතා මල පහ කරන දරුවන් බොහෝ විට නිරෝගීය. නමුත් ඇතැම් විට මව්කිරි බොන දරුවෙකු දින දෙක තුනකට වරක් මල පිටකිරීම හානිදායක නොවේ. මව්කිරි දිරවීම පහසු නිසා එය ඉක්මනින් ශරීරයට උරා ගැනිම මීට හේතුවයි. පිටිකිරි වලින් මෙන් මව්කිරි දීමේදී හටගන්නා මල ප්‍රමාණය අඩුය. ගුද මාර්ගය නියම අයුරු පිහිටා නැති දරුවෙකු ඉපදුනු පසු මලපහ නොකරයි. මලබද්දය නිසා බොහෝ දරුවන් ආහාර නොගැනීම, උදර වේදනාව, බඩ පිපීම, තැටමීම, දිවේ මැලියම් බැදීම හා මුඛයෙන් දුගදක් හැමීම, යන ලක්ෂණ හට ගනී.

මල බද්ධය ඇති දරුවන්ට හැකි තරම් දියර වර්ග පානයට දෙන්න. සෙම් ගතියක් නොමැති දරුවන්ට ලපටි තැඹිලි වතුර, දොඩම් ඉස්ම, පානය හිතය. උණුකර නිවා ගත් ජලය ටික ටින පොවන්න. උදේ නියමිත වේලාවට මලපහ කරන්න දරුවා පුරුදු කරන්න. ඝන ආහාර ගන්නා දරුවෙකුට පලා වර්ග දිනපතා ආහාරයට දෙන්න. නිතර නිතර මල බුරුල් වන ඖෂධ නොදෙන්න. දෙසදුන් කල්කය මල බද්ධය ඇති දරුවන්ට ඉතා හිතය. වයසට අනුව මෙහි ප්‍රමාණය වෙනස් කරමින් දිය හැක. (මදට එකේ සිට වැඩි කරමින්)

පණුඅමාරු

වටපණු, කොකුපණු, කිරිපණු, කසපණු, යන පණු වර්ගයන් ළමයින්ට පීඩා කරයි. හොදින් නොසේදු එලවළු, පලා වර්ග, යනාදීයෙන් ශරීර ගත වන මෙම පණු බිජ දරුවාගේ ශරීරය තුළදී මෝරා පණුවෙකු බවට පත් වේ. මෙම පණුවන් නිසා මන්ද පෝෂනයෙන් යුතු ළමයින්ට භයානක උපද්‍රව ඇති කරයි. මේ නිසා වයස අවුරුදු 10න් පහල  දරුවන් ඇති සෑම දෙමව්පියන්ම තම දරුවාට පණු අමාරු ඇත්දැයි සැලකිලිමත් විය යුතුය.

මාස 6 දක්වා දරුවෙකුට පණු අමාරු කලාතුරකින් හට ගත්තත් වසය මාස 6න් පසු සෑම ළමයෙකුටම ක්‍රීමි ප්‍රතිකාර ලබා දීම නුවණට හුරුය. නිතර නිතර පැණිරස කෑම දීමද, පණුවන් වැඩිවීමට අනුබල දෙන කරුනකි. පණු අමාරු ඇති දරුවෙකුට උදරයේ වේදනාව, ආහාර අරුචිය, මල බුරුල්ව යාම, දතකූරු කෑම, පිපාසය, බඩයට කරලෙන නිදා ගැනීම, ගුද මාර්ගයේ කැසීම, කැස්ස, ප්‍රතිශ්‍යාව, සිරුර කෙට්ටු වීම, නුරුස්සන බව, පස්, ගල්, මැටි, අගුරු ආදිය කෑම යන ලක්ෂණ හටගනී.

පණු අමාරු වැළැක්වීමට ආහාරයට පෙර දරුවන්ගේ දෑත් සබන් යොදා සෝදන්න.

කිරිපණු රෝගය බෝවීම කෙරෙහි යට ඇදුම් බලපාන නිසා යට ඇදුම් තම්බා සෝදා අන්දවන්න.

  1. කුඹුරු ඇට මද, වලගසාල්, අරළු, ගොටුදඩු තම්බා පානයට.
  2. සාදික්කා ගෙඩියක් දෙහි ඇඹුලෙන් ගලගා එයටම දිය කර පොවන්න.
  3. ජීවානන්ද, සුරංවිදුර ද යන ගුලි වර්ග වයසට අනුව ඉහතින් දැක්වූ බෙහෙත සමග පොවන්න.
  4. දෙළුම් මුලේ පොතු චූර්ණය මී පැණියෙන් දීම, මුත්‍රාව කලං ½.
  5. කරාබු නැටි තැම්බූ වතුර සීනි දමා දීම.

මාන්දම

ශරීරයට යම් යම් දේ අඩු වීම නිසා හට ගන්නා රෝග මාන්දම යනුවෙන් දැක්විය හැකිය. පෝෂ්‍යදායක ආහාර පාන නොලැබීම නිසා මන්දපෝෂණ ජනිත මාන්දම හට ගනී. ගර්භනී කාලයේදී මවගේ පෝෂණය අඩුවීම හෝ ලේ සිරුරෙන් පිටවීම සහ දරුවාගේ පෝෂණය අඩු වීම, ආහාර මාර්ගයේ දුර්වලතා, ආදිය නිසා මාන්දම හටගනී. මාන්දමේදී හට ගන්නා ප්‍රධාන ලක්ෂණය වන්නේ දරුවාගේ ශරීරය අතිශයින් කෙට්ටුවීම, හිසට දහඩිය දැමීම, දත් ඒම ප්‍රමාද වීම, මල බුරුල්ව පිටවීම, කෙස් දුඹුරු පාට වීම, නිතර හැඩීම යන මේවා දැක්විය හැක. මාන්දම රෝගයේදී ගෑමට හිසට තෙල් වර්ග වශයෙන් උළුවා තෛලය, මහා මාන්දම් තෛලය, සහ මහා මාෂ තෛලය දැක්විය හැක.

පීකුදු බස්නය, තෝර බස්නය, ආදි බස්න වර්ගද ඉතා ගුණදායී වේ.

ආමවාත

උණ සහිතව දරුවනගේ සන්ධි ඉදිමීම ආමවාත යනුවෙන් හැදින්වේ. මෙම රෝගයේ ඇති විශේෂ ලක්ෂණය සන්ධි ඉදිමුම සන්ධියෙන් සන්ධියට ගමන් කිරීමයි. මෙම රෝගයට බලපාන කරුණක් ලෙස සෙංගෙඩි ඉදිමීම දැක්විය හැක. සන්ධි ඉදිමුම සමග දරුවාට පපුවේ වේදනාව, හතිය, හුස්ම ගැනීමේ අපහසුව, වැනි ලක්ෂණ හට ගනී නම් එවිට හෘදයේ පීඩා ඇති නොවීමට වග බලා ගත යුතුය. රෝගය සුව වන තුරු දරුවා ඇදේ තබන්න. සුළං නොවැදී උණුසුම්ව තැබීම වැදගත් වේ. උණ බසින තෙක් බොන දේ පමණක් දෙන්න.

කැඳ, ඉගුරු කොත්තමල්ලි තැම්බූ වතුර, හීන් අරත්ත අල තැම්බූ වතුර, පානයට හිතකරය.

තැඹිලි, දොඩම් පැණි, ශිතල දෑ පානයට නොදෙන්න, උණුසුම් වතුර පානයට දෙන්න.

උණ අඩු වී සන්ධි ඉදිමුව අඩු වූ විට කෙසෙල් ගෙඩි වර්ග, පුහුල්, පිපිඤ්ඤා, නිවිති, තෙලෙන් බදින ලද ආහාර, මස්, මාළු, ආහාරයට නොදෙන්න.