චර්ම ව්‍යූහය

කුෂ්ඨ

මුළු ශරීරය වසා පවත්නා හම ඇසුරු කර ගනිමින් රෝග ලක්ෂණ පෙන්වන රෝගයකි. සම ආදී කොට ඇති සිවි ආශ්‍රිත රසාදි ධාතූන් විනාශ කරන නිසා කුෂ්ඨ නම් වී ඇත. නොසළකා සිටීමෙන් මුළු ශරීරයම පිළිකුල් බවට පත් කරන බවත්, රසාදි සප්ත ධාතූන්ට පැමිණ සියලු ධාතූන්ගේ වැගිරීමේ අවස්ථා ඇති කොට මස් කුණු වී දරුණු ක්‍රිමි අවස්ථා ඇතිකොට ක්‍රමයෙන් ලෝම, සම, ස්නායු, ධමනි, තරුණාස්ථි විනාශකර දමන බවත් ආයුර්වේද ග්‍රන්ථ වල සදහන්ව ඇත.

කුෂ්ඨ වලදී වාත පිත්ත කඵ යන ත්‍රිදෝෂ හා රක්තය ලසිකා සම මාංශ යන දුෂ්‍ය කොටස් 4 ක්ද සම්බන්ධ වන බව දක්වා ඇත. එම දෝශ දුෂ්‍ය විග්‍රහය අනුව කුෂ්ඨ රෝගය බලවත් රෝගයකි.

මහා කුෂ්ට 7 ක්ද, කුෂුද්‍ර කුෂ්ඨ 11 ක්ද, ආයුර්වේදයේ දක්වා ඇත.

හේතු

මස්, කිරි ආදි එකිනෙකට විරුද්ධ ආහාර වැළදීම, ශීතල, උෂ්ණ, සැහැල්ලු, බර ආහාර එක්ව ගැනීම. අජීර්නාදිය ඇතිව ආහාර ගෙන නැවත අධික ලෙස ආහාර ගැනීම, පැමිණි මල ආදි වේග පහ නොකිරීම, අධික ආහාර ගෙන ව්‍යායාම කිරීම, රක්ත මොක්ෂණය, වමන, විරේචන, නස්‍ය වැනි පංච කර්ම විධි හරියාකාරව නොකිරීම හා ඒවා  කිරීමෙන් පසු ඊට සුදුසු විරේචන උපචාර විධි නොපැවැත්වීම, අධික ලෙස දහවල් නිදා ගැනීම, අධිකව නිදි වැරීම, සාධුන්, ගුරුන්, දෙමව්පියන් අවමන් කිරීම. මේ නිසා ඇති වන සිත් ව්‍යාකූලතාව, භය, ශෝකය, ක්‍රෝධ ආදි සිතේ ව්‍යාකූල භාවයන් ඇතිවීම, මේ නිසා වන රක්තකෝපතාවය, අපිරිසිදුකම, සමේ රෝග ඇතියවුන් සහ ඔවුන්ගේ ඇදුම් ආදිය පරිහරණය, අධික දහඩිය දැමීම හෝ නොදැමීම, හමේ අධික රළු බව හෝ සිථිල බව, වර්ණ විකෘති, පිපාස. ශරීරය තැන්තැන් වල බිබිලි ඇති වීම ආදි ලක්ෂණ පූර්වරූප ලෙස ග්‍රන්ථ ගතව ඇත.

ප්‍රධාන වශයෙන් මුලින් කී කුෂ්ඨ හේතු වලක්වා ගැනීමෙන් හා පූර්ව රූප ලක්ෂණ ඇතිවූ මුල් අවස්ථාවේදීම සුදුසු පුතිකාරයන් ගැනීමෙන් කුෂ්‍ඨ රෝගය මුලින්ම සුව කරගත හැකිය.

  1. පිරිසිදුකම.
  2. අධිකව ජලය පානය කිරීම.
  3. සුදුසු මල මුත්‍ර රක්ත ශෝධනයක් කිරීම.
  4. ඡවි වර්ණය ඇති වන හෝ ආසාදන වර්ගයක් නම් එයට විරුද්ධ වන ආකාරයේ ආලේපයක් බාහිරින් ගැල්වීම.

කුෂ්ඨ සේදීමට

  1. ඇත්තෝර කොළ, කොහොඹ කොළ, අහු පින්න නිදිකුම්බා කොළ, අත්තික්ක කොළ වැනි කොළ වර්ගයකට අමුකහ වෙනිවැල් ගැට දමා තම්බා එම වතුර
  2. අරළු, බුලු, නෙල්ලි තලා දමා තම්බා එම වතුර

බාහිරාලේප

  1. සීතෝදක තෛලය.
  2. පිණ්ඩ තෛලය.
  3. විසර්පහර තෛලය.
  4. සර්වවිෂාදි තෛලය.
  5. නිල්‍යාදි තෛලය.
  6. තලතෙල්.
  7. කරවිල කොළ දෙහි ඇඹුලෙන් අඹරා ගෑම.
  8. ගොටුකොළ අඹරා තලතෙලින් මලවා බැදීම.
  9. මදුරුතලා කොළ, අමුකහ කොටා මලවා බැදීම.
  10. ගස්ලබු තම්බා අඹරා බැදීම. (පුයස්‍රාව සහිත)
  11. හුලං විස්කෝතු වතුරින් පොගවා  (සැරව ස්‍රාව සහිත) බැදීම.

අභ්‍යන්තරිකව

රත්හදුන්, සුදුහදුන්, නෙල්ලි, රසකිද, අරලු, කෙහොඹ පොතු, හාතාවාරිය, සැවැන්දරා, විෂ්ණුක්‍රාන්ති, ලුණුවිල, දුම්මැල්ල ආදි ද්‍රවයන් එකක් දෙකක් හෝ කිහිපයක් තම්බා පානය කිරීම. ඒ සමගම ශුද්ධ ගුගුල් ග්‍රෙන්ස් 40ක් පමණ හෝ චන්ද්‍රප්‍රභාවටී, කෛශොර ගුග්ගුලු වරකට 1 බැගින් උදේ සවස ගැනීම.

  1. ඛදිරාරිෂ්ඨය.
  2. ශාරිඛාද්‍යාසව.
  3. නිම්බාරිස්ඨය.
  4. උශීරාසවය.
  5. මංජිෂ්ඨාදි ක්වාථ.
  6. පංච තික්තඝෘත මෙයින් එක් වර්ගයක් මාසයක් පමණ පාවිච්චි කිරීම.
  7. ගෙන්දගම්, බෙලිකොළ යුෂ ම්ශ්‍රකර ගෑම.

හොරි

කැසීම සහිත බිබිලි තුවාල ඇත. කැසීම රාත්‍රියට අධිකය. අත් පා උදර ඉකිලි ප්‍රදේශවල බහුලව සෑදේ. ශරීරය පුරා පැතිර යා හැක. බෝවන සුළුය. අඳින ඇදුම් පාවිච්චි කරන ලද ඇඳ රෙදි කොට්ට සියල්ල දිනපතා අව්වේ දමා හෝ පිරිසිදු කර පාවිච්චි කළ යුතුය. කුෂ්ඨයේදී මෙන් රක්තශෝධක පාන ඖෂධ බාහිරාලේප පාව්ච්චි කළ යුතුය.

අළුහම්

  1. ඇත්තෝර කොළ, හෝකලුවා අල, දෙහි ඇඹුලින් අඹරා නෑමට පෙර හොදින් අලුහම් ඇති තැන්වල ගල්වා වියලී එන විට ඇතිල්ලීම.
  2. බෙලිකොළ, ගෙන්දගම් අඹරා, නෑමට පෙර ඇතිල්ලීම.
  3. පේර කොළ ඇල් දියෙන් අඹරා ගෑම.

ඉස්හොරි

  1. හොදින් හිස පිරිසිදු කර තල තෙල් හෝ බෙහෙත් තෙලක් ගල්වා මද්ධනය (මසාජ්) කිරිම.
  2. නෙල්ලි, කූඩලුදෙහි, ගොඩපර මින් එක්වර්ගයක් ගෙන තම්බා හිස සේදීම.
  3. කුඹුක් කොළ හෝ බැවිල කොටා යුෂ ගෙන හිස සේදීම.
  4. තෙලක්:තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4 කට මීතෙල් අවුන්ස 1 ක් මිශ්‍ර කර අව්වේ තබා කකාරා හිස ගෑම.
  5. තිත්ත වැල් කොටා, එම යුෂට පොල්තෙල් දමා කකාරා හිස ලෑම.

ඇගේ පළු නැගීම

අසාත්ම්‍ය තත්වයකි. දළඹුවන් ගෑවීම වැනි තත්වයක් නම් හේතුවට අනුව ප්‍රතිකාර කළ යුතුය. ඇල් දිය සේවනය අහිතය. සාමාන්‍යයෙන් අසාත්ම්‍ය වන ආහාර නම්, ඇඹුල් කෙසෙල්, බලමාලු, ඉස්සෝ, කකුළුවෝ, පොකිරිස්සෝ.

  1. අබ තෙල්, නීල්‍යාදි තෙල් ගැල්වීම.
  2. අමු පොල් කොළ ගිනි අගුරට දමා දුම් ඇල්ලීම.
  3. දුම්මැල්ල, කොත්තමල්ලි තම්බා බොන්නට දීම.
  4. තමාට අහිත වූ ආහාර පාන විහරණාදියෙන් වැළකී සිටීම.

කුරුලෑ ගෙඩි

  1. වසු බෙටි පිළිස්සු අළු ඇල්දියෙන් අඹරා ගෑම.
  2. ලොත්සුඹුලු, ගෝරෝචන, ගම්මිරිස් අඹරා ගෑම.
  3. උණුදිය පානය.
  4. උදුපියළිය කොළ ඉස්මෙන් සුදුළූණු අඹරා ගෑම.
  5. සුදුළූණු මීපැණියෙන් අඹරා ගෑම.
  6. අමුකහ සුදුළූණු මී පැණියෙන් අඹරා ගෑම.
  7. පැනි රස හා තෙල් කෑම ගැනීමෙන් වැළකීම.