වාත රෝග

වාත රෝග

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය වා, සෙම්, පිත් යන තුන්දොස් ආශ්‍රිතව විග්‍රහ කරන්නකි. ත්‍රි දෝෂ අතුරින් වා දෝෂයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ස්වාස්ථයත් අස්වාස්ථයත් යන ද්විවිධ අවස්ථාවටම වාත දෝෂයෙන් කෙරෙන බලපෑම් අති මහත්ය.

‍විශේෂයෙන්ම අස්වස්ථ හෙවත් රෝගි තත්වයන් ඇති වීමේදි වාත දෝෂය සම්බන්ධ වීමෙන් නම් වශයෙන් රෝග අවස්ථා අසූවක් ඇති වන බැව් මූල ග්‍රන්ථ වල නිර්දිෂ්ට ය. මීට අමතරව ජ්වර, අතීස‍ාර, ග්‍රහණි, ආදී සර්වාංග ගත රෝගයන්හිදි ද ප්‍රභේද දක්වන විට වාත දෝෂය නිසා වන ප්‍රභේද, අවස්ථාද දක්වා තිබේ.

වාත රෝග හේතූන් ලෙස පොදු වශයෙන් දැක්විය හැක්කේ වාත කෝප හේතූන්ය. රුජාව වාත රෝගයක මූඛ්‍ය ලක්ෂනයක් වේ. නමුත් වාත රෝග නිසා පහළ වන රූප ලක්ෂණ සංඛ්‍යාව අතිමහත් බව පෙනේ. රුජාකරත්වයට අමතරව විකලාංගකරත්වය ක්‍රියාකාරී වෘද්ධිය, ක්‍රියා ඌනත්වය, විකෘති ක්‍රියා ජනිත වීම, සංවේදි විකෘති මේ ඝනයට ඇතුලත් වේ. එමෙන්ම, වාතරෝග නිසා වන උපද්‍රවව ද චිරකාලානුබද්ධය.

ආක්ෂේප, මන්‍යස්තම්හ, අර්දිත, පක්ෂඝාත, අවබාහුක, ගෘද්‍රසි, අපතානක, තුනි ප්‍රතුනි බහුල වශයෙන් දක්නට හැකි වාතරෝග සමහරෙකි.

ආයුර්වේදය සහ දේශිය වෛද්‍ය ක්‍රමයන්හි චිකිත්සාව ඉතා සාර්ථක වූවකි. ස්නෙහපානය, තෛලාභ්‍යංගය, ස්වේදනය හෙවත් තැවිලි පොට්ටනි වලින් තැවීම, වාත නාශක ගුණ සහිත ඖෂධයෝග අභ්‍යන්තර  වශයෙන් යෙදීම තර්පණය හෙවත් ශරීරය ශක්තිමත් කිරීම මෙහිදී යෙදිය හැකි චිකිත්සා උපක්‍රමයෝය.

වාත රෝග වළක්වා ගැනීම

වාතකෝපකර හේතුවලින් ආරක්ෂාවීමෙන් වාත රෝග වළක්වා ගත හැකිය. වාත දෝෂ කෝප කිරීමට සමත් ආහාර විහරණ හා ඖෂධ වලින් ප්‍රවේශම් වීම වාතරෝග වළක්වා ගැනීමේ සුදුසුතම පිළිවෙළයි. විදසුනක් වශයෙන් අතිශයින් කටුක වූ රූක්ෂ වූ ආහාර විහරණවලින් වෙන්ව සිටීමත්, තැලීම්, වැටීම් වලින් ප්‍රවේශම් වීමත් දැක්විය හැකිය.

වාත රෝග ප්‍රථමාධාර

වාතරෝග තීව්ර සහ විරකාල වශයෙන් ඇතිවේ. ප්‍රථමාධ‍ාර අවශ්‍ය වන්නේ තීව්ර ලෙස රෝගය ඇති වන විටයි. බොහෝ විට මෙම අවස්ථාවේදී ප්‍රථමාධාර අවශ්‍ය වන්නේ ශුලය හෙවත් වේදනාව සදහාය.

ශුලය

  1. ශුල නාශක තෛලට පිටතින් ගෑම නිදසුන්, වාතවිදුරංග තෛලය, සිද්ධාර්ථ තෛලය, සර්ෂපාදී තෛලය.
  2. තැවිලි පොට්ටනි වලින් තැවීම.
  3. විවේකය
  4. උණුසුම් බීමක් පානය සදහා දීම. නිදසුන් : කෝපි, තේ
  5. ඖෂධීය පානයක් දීම. නිදසුන් : බැවිල, සුදුළූණු තැම්බූ වතුර.

ශුලය

ශුලය හෙවත් වේදනාව විවිධාකාරය. අනින්නාක් වැනි වේදනාව, තෙරපෙන්න‍ාක් වැනි වේදන‍ාව, අදින්නාක් වැනි වේදනාව, උදාහරණයකි. වේදනාව ඉන්ද්‍රියානු බද්ධයි. ස්ථානික මෙන්ම පැතිරයන වේදනාවක්ද වේ. ශුලයට හේතුව ව්‍යුහාත්මකව සලකා බලන්නේ නම්, ස්නායු ව්‍යුහාවේ ඇති වන ප්‍රකෝපතාවයකි. මෙය රෝගයක් ඇති බව පෙන්වන ලක්ෂනයකි. එමෙන්ම රෝගයක පූර්වරූපයක්ද, උපද්‍රවකර ලක්ෂණයක්ද, අරිෂ්ට ලක්ෂණයක්ද, රෝගයක් සුව අතට හැරෙන ලක්ෂණයක්ද විය හැකිය.

ශුල ප්‍රතිකාර

  1. උළුහාල්, ගම්මිරිස්, සුදුළූණු, කොත්තමල්ලි, තැම්බූ වතුරට එළගිතෙල් තේ හැන්දක් දමා බීම.
  2. කොහොඹ පොතු, නික පොතු,ආඩතෝඩා පොතු, කුඹුරු පොතු, වදකහ, අමු ඉගුරු, සුදුළූනු, කොටා වණ්ඩුවේ තම්බා උණු වතුරෙන් මිරිකා පත ½ කට නවරත්න කල්කය තිබ්බටු ගෙඩියක් පමණ දමා උදය සවස දින 2ක් බීම.
  3. අස්වැන්න මුල්, පොල්පලා මුල්, බටු මුල්, කටුවැල් බටු මුල්, නෙරෙංචි මුල්, බැවිල මුල්, හතාවාරිය මුල්, කසායට සීනි මී පැණි දමා බීම.
  4. බැවිල මුල් කලං 6, එඩරු මුල් කලං 6ක්, කෂාය කර සීනි එළගිතෙල් දමා බීම.
  5. සේපාලිකා කොළ කලං 12 කෂාය කර බැදපු උළුහාල් කුඩු දමා බීමට.
  6. අරත්ත අල, තොටිලපොතු, කලං 3 කෂායට ඉගුරු කුඩු දමා බීම.
  7. නික කොළ, එඩරු ඇට දම, සුදුළූණු, පොල් එක පමණ ගෙන කොටා කොහොඹ තෙලින් අනා පොට්ටනි බැද වණ්ඩුවෙන් තම්බා කොහොඹ තෙල් හෝ මී තෙල් ගා තැවීම. උදය සවස
  8. නුග කොළ කොටා මී තෙලෙන් අනා පොට්ටනි බැද වණ්ඩුවෙන් තම්බා මී තෙල් ගා තැවීම.
  9. නාරායන තෛලය, සිද්ධාර්ථ තෛලය, මහා මාෂ තෛලය ගෑම.
  10. හීනටි හාල් කැද නික කොළ ඉස්ම දමා බීම.
  11. පෙරුංකායන් කොටස් 1, සහිදලුණු කොටස් 2ක්, වියළි ඉගුරු කොටස් 4යි, අරළු කොටස් 8 කුඩු කර වරකට තේ හැදි 1 උණු වතුරින් බීම. උදය සවස

හිරිය

හිරිය යනු අස්වාභාවික සංවේදනයකි. වාත කෝප ලක්ෂනයකි. මධුමේහ, පක්ෂඝාත වැනි රෝග අවස්ථා වලදී පහළවන පූර්ව රූපයකි. ශුලය මෙන්ම හිරිය ඇති වූ විටද හේතුව සොයා බැලිය යුතුය.

ප්‍රථමාධාර වශයෙන් ස්නේහ ස්වේද විධි යෙදීම උචිතය.

  1. මී ඇට මද, දොඹ ඇට දම, කරද ඇට මද, කුඹුරු ඇට මද, එඩරු ඇට මද, අබ, තල, කොට්ට පොල්, එක පමණ ගෙන කොටා පොට්ටනි බැද වණ්ඩුවෙන් තම්බා මී තෙල් ගා තැවීම.
  2. උදුපියලිය, ඉරමුසු කොළ, පොල් එක පමණ ගෙන කොටා පොට්ටනි බැද  වණ්ඩුවෙන් තම්බා කොහොඹ තෙල් ගා තැවීම.
  3. අලබේත් කලං 3, කරාබු, වසාවාසි, සාදික්කා, අබ, කුරුදු පොතු, සුදුළූනු, වියළි ඉගුරු කලං 1බැගින් ගෙන කුඩු කර එකට අනා එඩරු මුල්, තැම්බූ වතුරෙන් තේ හැදි 1බැගින් උදය සවස බීම.
  4. කෙ‍ාහොඹ මුල් වැල්දෙමට අමුක්කරා, වදකහ කලං 3බැගින් කුඩු කර එළගිතෙලෙන් අනා වරකට කුඩා නෙල්ලි ගෙඩියක තරම් කිතුල් පැණියෙන් උදය සවස කෑමට
  5. නික මුල්, එඩරු මුල්, කටුකරඩු මුල්, කසාය කර සහිද ලුනු සමග බීමට.

ආක්ෂේප

ආක්ෂේප යනු ගැස්මයි. මෙයද වාත රෝගයකි. මාංශ පේශි වල ඇතිවන තත්වයකි. බහුල වශයෙන් උපද්‍රව කාරකයකි. ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවට හානි පැමිණීම, අධික වෙහෙසට පත් වීම, මෙයින් වන උපද්‍රවයෝය. ආයුර්වේද පොත්පත්වල හා දේශිය වෙදකමේ ආක්ෂේප වර්ග කිහිපයකි. දණ්ඩාපතානය, අන්තරායාම, බාහිරායාම, වලිප්පු, සන්නි කෝල නිදසුන්ය. වයස් හෝ ලිංග බේදයක් නොමැතිව ආක්ෂේප ඇතිවන බව පෙනේ. ආක්ෂේප රෝග ලක්ෂණයක් වන අතර මෙහිදී අතපය දරදඩු ඇති වෙයි. හේතුව මොළය සහ ස්නායු ව්‍යුහාවේ ඇතිවන ප්‍රකෝපනය. මෙයට බහුල වශයෙන් හේතු කැරක වන්නේ තද උණ, ශරීරයේ විෂ ඇති වීම, මලබද්ධය, පණුරෝග ආදියයි.

ආක්ෂේප වැළැක්වීම

  1. තදඋණ වැනි ආක්ෂේපයට හේතු වන සාධක වැළැක්වීම.
  2. මලබද්ධය ඇති වීම වැළැක්වීම.

ආක්ෂේප ප්‍රථමාධාර

  1. රෝගියා සන්සුන්ව යහන්ගත ඉරිවේවෙන් තබා හිස පසෙකට හැරවීම
  2. ගෙල වටා ඉණ වටා ඇති තද ඇදුම් බුරුල් කීරීම.
  3. දත් අතරට හැන්දක් වැනි උපකරණයක් දමා දිව සැපීම වැලැක්වීම, සහ සෙම් පදාර්ථ මුවෙන් සහ නාසයෙන් ඉවත් කිරීම.
  4. සිහිල්දිය මුහුණට ඉසීම.
  5. බටුතෙල්, කෝලශෙලෙස්මා තෛලය, වලිප්පු රාජ තෛලය වැනි සුදුසු තෛලයක් ගෙල දෙපස ගෑම.
  6. මුවින් කිසිවක් නොපෙවීම සහ නස්න නොකිරීම
  7. නිල මාර්ග අල්ලා සිහි ගැන්වීම.
  8. බටුතෙල් බුලත් කොළයේ ගා අබතෙලින් දැල්වූ පහනකින් රත් කර ගෙල දෙපස තැවීම.

ආක්ෂේප අවස්ථාවෙන් පසුව

  1. අරළු, වදකහ, අරත්ත අල, සහිදලුණු, ගොරක, දෙහි යුෂෙන් අඹරා ගිතෙල් සමග කකාරා පෙරා බීමට.
  2. වෙනිවැල් ගැට කොත්තමල්ලි, සුදුළූනු තැම්බු වතුර බීම.
  3. එළඔලිද කොළ කොටා යුඹ තේ හැදි 1, මී පැණි දමා බීමට
  4. කුඹුරු ඇට මද, වියළි ඉගුරු. මුරුංගා මුල්, අරත්ත අල, වදකහ, ලුණුවර පොතු, සුදුලූණු , තිප්පිලි, රත්නිටුල් මුල්, කටුකරඩු මුල්, දේවදාර, කලුදුරු අල, අරළු වේලා මුල් කෂාය කර සීනී මීපැණි දමා  බීමට.
  5. කළු උක් යුෂ,එලගිතෙල් තනකිරි බිංදු 4 බාගින් ගෙන මදක් රත්කර නස්‍ය කිරීම.
  6. කුප්පමේනිය දළු, ආඩතෝඩදළු, ඔලිද දළු, සුදුළූණු, අමු ඉගුරු, එක පමණ ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා තලතෙල්, එළගිතෙල්, තනකිරි දමා උදයට දෙනු
  7. වලිප්පුරාජ ගුලිය, මාසක්කා, වදකහ, යුෂින් ගල ග‍ා දීම.
  8. පෙනෙල ගෙඩිය පොතු හැර ඉගුරු, සුදුළූණු, දෙහි ඇඹුලෙන් ගලගා දීම.

පක්ෂාඝාත

දේශිය වෙදකමේ අංශ භාග රෝගය යනුවෙන් හදුන්වන්නේ මෙයයි. මෙහි ආකාර රාශියකි. මොළයේ සියුම් ලේ නහරයක් පිපිරීම. ලේ නල අවරෝධ වීම, සියුම් ස්නායු තෙරපීම, වැනි හේතු නිසා පක්ෂඝාත ඇති වේ. අතක් සහ කකුලක් පණ නැති වීම ප්‍රධාන ලක්ෂණයකි. මීට අමතරව කථාව බැරි වීම හෝ ගොත වීම, කට පැත්තකට යාම, ඇස් වල විකෘති ආදිය ද ඇති වේ. මේ රෝගයට බලපාන හේතු අනුව ඒ හේතු ඇති කිරීමට සමත් මුලික හේතුන් රාශියක් ඇතිබව පෙනේ. හෘද රෝග ,අධික රුධිර පීඩනය, වකුගඩු රෝග, රුධිර රෝග මෙයින් සමහරකි.

මේ නිසා පක්ෂඝාත රෝගය ඇති වීම වැළැක්වීම‍ට එම හේතු පැන නැගීම වැළැක්වීම කළ යුතුය. පොදු වශයෙන් වාත රෝග ඇති වීම වැළැක්වීමට අඩංගු කරුණු පිළිපැදීම සෑහේ.

පක්ෂඝාත ප්‍රථමාධාර

  1. සිහිමුර්ජා වී ඇත්නම් ඊට සුදුසු ප්‍රතිකාර විධි.
  2. රෝගියා වැටීමෙන් ආරක්ෂා කර ගැනීම.
  3. ගිලීම අපහසු නම් ඊට සුදුසු ප්‍රථමාධාර
  4. අධික රුධිර පීඩනය අත්නම් ඊට සුදුසු ප්‍රතිකාර
  5. වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම.

ආමවාත

වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත වෙදකම් කල යුතු අංගයකි.

අමවාත වාත රෝගයක් නොවේ. අස්ථි සන්ධි ව්‍යුහවේ රෝගයක්. දේශිය වෙදකමේ මෙය ප්‍රමේහ වාත රෝග යනුවෙන් හැදින්වෙයි. මෙම රෝගයේ මුල් හේතුව අග්නි මාන්ද්‍යතාව නිසා ආහාර රස හරිහැටි නොපැසී රැස්වන ආම රසය සන්ධිගත වීමයි. සන්ධි ඉදිමීම, සන්ධි වල වේදනාව, උණ, අරුචිය, ආහාර නොපැස වීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි. සෙම් ගෙඩි ප්‍රධාන උගුරේ ප්‍රදාහය හෙම්බිරිස්සාව පූර්ව රූපයයි. හෘද රෝග ඇතිවීම ප්‍රධාන උපද්‍රවය වන අතර සන්දී විකෘති අස්ථි විකෘති මහත් කරදර ගෙන දෙන උපද්‍රවයකි.

ආමවාත රෝග වැලැක්වීම

  1. අග්නි මාන්ද්‍ය වැලැක්වීම (බඩගිනි නැති කම)
  2. ආහාර පරිපචනයට ඇති බාධා වැළැක්වීම- මේ සදහා  දීපන හා පාචන ඖෂධ යෙදිම.
  3. ගුරු ස්නිග්ධ ගුණ යුත් ආහාර වැඩිපුර නොගැනීම.
  4. තෙත් වූ ශීත පරිසර අත් හැරීම.
  5. සෙම්ගෙඩි ප්‍රධාන, උගුරේ සෙම් ප්‍රතිහ්‍යාව, වකුගඩු රෝග වැළැකිවීම.
  6. ව්‍යායාම ක්‍රමානුකූලව කිරීම.

ආමවාත රෝග ප්‍රථමාධාර

  1. උණුසුම් වාතාශ්‍රය ලබා දීම.
  2. ඇද විවේකය.
  3. සන්ධි වේදනාවට ප්‍රතිකාර.
  4. මානසික විවේකය
  5. උණට කල යුතු ප්‍රථමාධාර.
  6. උණුසම් පාන වර්ග බීමට දීම.
  7. එඩරු තෙල් බොන්නට දී විරේක කරවීම.

ආමවාත

  1. තොටිල පොත කලං 12 ක් කෂාය කර දීම.
  2. තොටිල පොතු කලං 6ක්, අරත්ත අල කලං 6ක් කෂාය කර දීම.
  3. තොටිලපොතු හීන් අරත්ත අල, එඩරු මුල් කලං 4ක බැගින් කෂාය කර දීම.
  4. බිං කොහොඹ, කොහොඹ පොතු, එළබටු මුල්,. කටුවැල් බටු මුල්, තොටිල පොතු, දියමිත්ත මුල්, ලුණුවරණ පොතු, වියළි ඉගුරු කෂාය කර පෙරුංකායන් සහිද ලුණු දමා බීම.
  5. හීං අරත්ත අල, රසකිද, ඇහැල පොතු, දේවදාර, නෙරෙංචි මුල්, කටුකරඩු මුල්, සාරණ මුල්, කසාය කර ඉගුරු කුඩු දමා බීම.
  6. හීන්අරත්ත අල, රසකිද, එඩරු මුල්, දේවදාර, වියළි ඉගුරු කෂාය කර දීම.

කෙසේ උවද, වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත වෙදකම් කල යුතු අංගයකි.

සන්ධි ස්ථාන වල ගෑමට

  1. මුරුංගා පොතු, අමු ඉගුරු, අතසි ඇට, සුදුළූණු, කසිස් විනාකිරෙන් අඹරා ගෑම.
  2. සතකුප්ප, වදකහ, ඉගුරු, නෙරෙංචි මුල්, පෙරුංකායන්, විනාකිරෙන් අඹරා ගෑම.
  3. වියළි එළුබෙටි, සුදුළූණු, විනාකිරෙන් හෝ අබ තෙලින් ගෑම හෝ පැලැස්තර
  4. හුඹස් මැටි, අබකුඩු, ඉගුරු, කපුරු, අත්තන කොළ යුෂින් කකාරා ගෑම.
  5. අමු නෙල්ලි, තල තෙලින් අඹරා ගෑම.
  6. නුග කොළ කොටා මී තෙලින් අනා පොට්ටනි බැද වණ්ඩුවෙන් තම්බා මී තෙල් ගා තැවීම.
  7. වැලි පොට්ටනි වලින් තැවීම.
  8. මුරුංගා පොතු, අමු ඉගුරු, කපුරු, සහිද ලුණු විකාකිරෙන් අඹරා ගෑම.
  9. නික කොළ, අබිං, තිත්ත අබිං, ගම්මිරිස්, කලු අත්තන මුල් අඹරා ගෑම.