ජ්වර

ජ්වර

ජ්වර යනු උණ ගැනීමයි. ශරීරයේ උෂ්නත්වය වැඩි වීමයි. මිනිස් සිරුරේ උණුසුම යම් නියමිත ප්‍රමාණයකට පවත්නා බැව් කවුරුත් දනිති. යම් හේතුවක් නිසා එසේ පැවතිය යුතු උණුසුම් ස්වභාවය වැඩි වීම උණ ගැනීම ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහ‍ාර කරතත්, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ උණ හෙවත් ජ්වරය යන නාමයෙන් හැදින්වෙන්නේ රෝග ලක්ෂණ කිහිපයක් එකවිට ඇතිවීමය. එනම් දහඩිය නොදැමීම, ඇ‍ෙඟ් උණුසුම් ගතිය සහ සිරුර ගත වේදනා සමුහ ඇතිවීමයි. මේ අනුව වෛද්‍ය ශාස්ත්‍රයේ සඳහන් වන ජ්වර හෙවත් උණ ඇතිවීම තනිකරම සිරුරේ උණුසුම වැඩිවීමම පමණක් නොවේ.

සියළු රෝග අතුරෙන් උණ ප්‍රධාන ලෙස සැලකීම වෛද්‍ය ශාස්ත්‍රයේ නියමයයි. උප්පත්තියේ දීත් මරණයේ දීත් උණ හට ගන්නා බවත්, මෙලොව සියළුම සතුන් උණ නමැති රෝගයට ගොදුරු වන බවත් පෙන්වා දි තිබේ.

ජ්වරය රෝගයක පූර්ව රූපයක්, වෙනත් රෝගයක ලක්ෂනයක්, උපද්‍රව කර අවස්ථාවක්, අරිටු අවස්ථාවක් ලෙස ඇතිවීමක් යන කුමන ආකාරයෙන් හෝ ඇතිවිය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව, පනු රෝග, අජීර්ණ, සෙංගමාලය, හෘද රෝග, රත රෝග, සන්ධි රෝග, අභිඝාත, ආසාධන ආදී නොයෙකුත් අවස්ථා වලදීත්, මැලේරියාව, බරවා උණ, සන්නිපාත වැනි අවස්ථා වලදීත් උණ හටගන්නා බව කා අතරත් ප්‍රකටය.

මේ හේතුව නිසා ශාස්ත්‍රීයj දැක්වෙන ජ්වර රෝග සංඛ්‍යාව අති මහත්ය. සෑම ජ්වර අවස්ථාවකදීම ඊට හේතු වූ කාරණා සොයා බලා ඖෂධ නියම කිරීම වෛද්‍යවරයා සතු කාරියකි. නමුත් සාමාන්‍ය මහජනයාට ඇතැම් අවස්ථාවලදී මතුවන උණ රෝග සම්බන්ධයෙන් කරුණු වටහා ගැනීම පහසු නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව, අජිර්ණ වැනි ඉතා පහසුවෙන් ඉදිරිපත් කළහැකි හේතුවක් නොමැති විට හටගන්නා උණ සම්බන්ධයෙන් නම් වඩා යහපත් වනුයේ රෝගිය‍ා වෛද්‍යවරයෙකුට පෙන්වීමය. සාමාන්‍යයෙන් දින 03 කට වඩා පවත්නා උණක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

ත්‍රි දෝෂය හෙවත් වාත, පිත, කඵ, මුල්වීමෙන් හටගන්නා ජ්වර තත්වයන් මෙන්ම විෂම ජ්වර, ධාතුගත  ජ්වර ආදී වශයෙන් විවිධ උණරෝග තිබෙන බව සැලකුව මනාය.

සාමාන්‍ය උණට

  1. උණුසුම් ජල පානය
  2. නෙල්ලි, කොත්තමල්ලි, අරළු, සහිද ලුණු, තිප්පිලි, සම ප්‍රමාණයෙන් ගෙන කුඩුකර එයින් තේ හැදි 2ක් පැහෙන උණු වතුර (උතුරවාගත් වතුර) දමා වත්කර පෙරා බීම.
  3. පැය 8කට වරක් අරත්ත අල, ඉගුරු, කොත්තමල්ලි, තිප්පිලි පෙරසේ සකස් කර බීම.
  4. පත්පාඩගන්, වෙනිවැල්ගැට, දුම්මැල්ල, වියළි ඉගුරු, කොත්තමල්ලි පෙරසේ සකස් කර බීම.
  5. බටු දළු, නික දළු, කිරි අගුණ දළු, ආඩතෝඩ දළු, අමු ඉගුරු, සුදු ළූණු එක පමණ ගෙන කොටා වණ්ඩුවෙන් තම්බා පැහෙන උණු වතුරෙන් මිරිකා පෙරා සීනි, තල තෙල් දමා බීම. පැය 8කට වරක්
  6. බිං කොහොඹ, වැල් කහබිලියා මුල්, ඉගුරු කලං 2 මදට 8 බැගින් වතුර පත 8-1 සිද පෙරා සීනි දමා බීම.
  7. ඉගුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි පේයාව බීම.
  8. එළබටු මුල්, කටුවැල් බටු මුල්, පොල්පලා මුල, නෙරෙංචි මුල්, කොත්තමල්ලි, තිප්පිලි පෙයාව බීම.
  9. පත්පාඩගන්, කොත්තමල්ලි තැම්බු වතුර.

ආමවාත ජ්වරය

ගම්බදව මේ තත්වය ප්‍රමේහ වාත‍ය ලෙස හදුන්වයි. මෙය ශාස්ත්‍රීය නොවේ. දණහිස් ආදී ලොකු සන්ධි ඉදිමී මහත්සේ වේදනා කරවයි. උණ හට ගනී, හෘදයේ රෝග ඇති කරයි. හෘදයේ ගැස්ම දැනීම වැඩිවීම, හෘදය පෙදෙස වේදනා වීම මෙහි මුල් ලකුණකි.

මෙබදු අවස්ථාවකදී සාමාන්‍ය උණට කියු තැම්බු පේයා වර්ග අත් බෙහෙත් ලෙස යෙදිය හැකි නමුත් වෛද්‍යවරයෙකුට රෝගියා පෙන්වා ආමවාත රෝගයට නිසි පිළියම් ලබා දිය යුතුමය.

රෝගියාව උණුසුම්ව සහ විවේකව තැබීම අතිශයින් වැදගත්ය. දිරවීම පහසු ද්‍රව ආහාර දිය යුතුය. ඇල්දිය පැවිච්චිය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුය.

බිළිඳු උණ

ළදරු කාලයේ ප්‍රකෘතියෙන්ම සෙම් බහුල නිසාත්, බල පවත්නා දෝෂය වීම හා මවගේ කිරෙන් පෝෂණය වන නිසාත් සෙම් උණ බහුලව සෑදේ. එයින් සෙම් පැසවන ඖෂධ යොදා දොස් සමනය කළයුතුය.

  1. කොත්තමල්ලි තැම්බූ වතුරට දෙසදුන් කල්කය දියකර දීම.
  2. ඉඟුරු, කොත්තමල්ලි, තම්බා සීනි දමා දීම. සෙම පැසවා ඇත්නම්
  3. පාවට්ටා පංචාංගය, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, කොත්තමල්ලි කෂායට ජීවක කල්කය දියකර දීමත් හිතය. මෙයටද උණ නොබැස්සොත්,
  4. තිප්පිලි, කලාඳුරු අල, වැල්මී, වැල් තිබ්බටු මුල්, සැවැන්දරා මුල්, ඉගුරු කෂායට ජීවක කල්කය දමා දීමත්, ක්ෂිර අජීර්ණ (කිරි අජීර්ණ) ජනිත උණයක් නම්, බෙලිමුල් පොතු, අසමෝදගන්, කලාඳුරු අල, ඉගුරු, කොත්තමල්ලී කෂාය කර මීපැණි දමා දීම යහපත්ය. ක්ෂිර අජීර්ණ මදක් සුව වුවද වරින් වර මල පහ වීම ඇති විට කුඹුරු මුල්, පොල්පලා මුල්, වදකහ කෂාය මී පැණි දමා දීම සිඬ යෝගයක් වශයෙන් සැලකේ.

ළදරුවාට කෂාය දෙන විට අඩු මාත්‍රාවෙන් දිය යුතු අතර වතුර කෝප්ප 04ක් කෝප්ප භාගෙට සිදුවා කෝප්ප කාල බැගින් ‍ෙදවරට හෝ ඊටත් අඩු  මාත්‍රාවෙන් සතර වාරයකට හෝ දිය යුතුය.

ප්‍රතිශ්‍යා උණ

මෙය කඵ ජ්වරට අයිතිය. සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය සහ උණ එහි ප්‍රධාන ලක්ෂණයි. චිකිත්සා වශයෙන් එයට ප්‍රධාන කොට ඉගුරු, කොත්තමල්ලි තම්බා දීමත්, ලංඝන කිරීමෙන් අනතුරුව ඉගුරු, කොත්තමල්ලි, තිප්පිලි සහිත ලාජා (විලඳ) පේයාව සහිඳ ලුණු දමා දීමත් හිතකරය. විලඳ නැත්නම් බැදිහාල් යෙදිය හැකිය. ඊට පසු ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්, කටුවැල් බටු, ආඩතෝඩ මුල් කලං 2යි මන්චාඩි 8 බැගින් වතුර පත 8-1 ට සිඳ පෙරා සීනි තිප්පිලි දමා බීම මැනවි.

අර්ධාව ශිෂ්ඨ හෙවත් භාගයට සිඳුවා ගත් ජලය උණුසුම්ව පානය, දහඩිය දමා උණ බසී - බඩගින්න (ජඨර‍ාග්නිය) දල්වයි.

නිරාහාරව සිටීම හෝ ලඝු ද්‍රව ආහාර දෙමින් පවත්වා ගැනීම.

රත උණට

  1. රසකිද, කලාඳුරු අල, පත්පාඩගන්, කෂාය කර දීම
  2. රසකිද, ඉගුරු, පත්පාඩගන්, වදකහ, කලාඳුරු අල, සැවැන්දරා මුල්, කෂාය කර දීම (සිනී මී පැණි දමා) හිතකර වේ. සුදු හදුන්, රතුළූණු, වැල් මී, රත් හදුන් සැවැන්දන, පත්පාඩගම් කෂාය (ගිතෙල් දමා) දීම.

ආම ජ්වරය

ආම සහිත වුයේ ආමය. ආම රහිත වූයේ නිරාමය. ආම සහිත වු ආම ජ්වරයේදි ආමය පැසවන (පාවන) ජ්වරස්න ඖෂධ යෙදිය යුතු අතර නිරාම වු ආම රහිත ජ්වරයේදි පාවන ඖෂධ නැතුව ගමන කාරක ජ්වරස්න ඖෂධ යෙදිය යුතුය. ආමජ්වරයේ දී ලංඝනය කොට අනතුරුව චිකිත්සා කළ යුතුය. අ‍ාමයද, සද්‍ය ආමය සහ පුරාතන ආමය ලෙස දෙයාකාරයකි. ළගදීම හදිස්සියෙන් මෙන් උදරගත අජීර්ණයක් ඇතිව උණ ගැනෙන්නේ නම් එය ආම ජ්වරයකි.

  1. ඉගුරු, කොත්තමල්ලි, තිප්පිලි පේයාවත්,
  2. තිප්පිලි මුල්, අරළු කෂායත් හිතකරය. පුරාතන අ‍ාම ජිවරයට
  3. ඉගුරු, කොත්තමල්ලි, දේව දාර, එලබටු, කටුවැල් බටු කෂාය
  4. බෙලි මුල්, අරත්ත අල, බැබිල මුල්, දේවදාර කලං 2 බැගින්, කලාඳුරු අල, පත්ලාඩගම්, බිං කොහොඹ, වැල් කහඹිලියා මුල් කලං 1 බැගින් කෂාය කර දීය හැකිය.
  5. අමු ඉගුරු, සුදු ලූණු, යකිනාරං කොළ පොතු සමග දීම.
  6. යකිනාරං කොළ කැද බීම.
  7. අඩට සිදුවා ගත් උණු වතුර දීම (අර්ධසෘත).
  8. පංච කොළ චුර්ණය කැදට දමා නටවා පෙරා දීම.
  9. තිප්පිලි මුල්, තිප්පිලි, යවානි, සිවිය විලද දමා දීම.
  10. සීතාරාම වර්තිකාව, මහාවර්තිකාව වැනි, ගුලි දීම වරකට 2-4 දක්වා

 

සූතිකා ජ්වරය

මෙය සූතිකා විහරණ අවස්ථා වේදී පිළිපැදිය යුතු ආහාර විහරණ ඖෂධ සංස්කරණ විධි අනුගමනය නොකිරීමෙන් සුතිකා විෂ නිසා හට ගනී. ඇග පොඩි කිරීම, උණ, වෙව්ලීම, පිපාස, අවයව වල බර ගතිය, ඉදිමුම, වේදනාව, අතිසාරය, යන ලකුණු පහළ වේ.

  1. නික මුල්, කොහොඹ පොතු, කුඩුමිරිස් මුල්, මදුරුතලා මුල්, කොල්ලු, අරළු, බුළු, නෙල්ලි, වදකහ, ඉගුරු කෂායට සීතාරාම ගුලි දමා දීම හොදයි.
  2. සූතිකා දශ මුල නමින් ප්‍රකට අස්වැන්න, පොල්පලා, එළබටු මුල්, කටුවැල් බටු, නෙරෙංචි, (ප්‍රසාරිණි) ආපසු මදුමුල්, වියළි ඉගුරු, රසකිද, කලාඳුරු අල, කෂායට යවකාර ලුණු දමා දීමත්, අතරට
  3. සුදු ළුෑණු, රඹුක්බඩ, කොහොඹ පොතු කොටා වන්ඩුවේ තම්බා මිරිකා මාත්තු පහ ගුලි දමා කොහොඹ තෙල් මිශ්‍රකර බීමත් යහපත්ය.
  4. වරකට වර්තිකාව ගුලි 4ක් අමු ඉගුරු, සුදු ලුනු, මුරුංගා පොතු, කොහොඹ පොතු යුෂින්.
  5. ඉගුරු කුඩු දමා අරක්කු දීම (තේ හැදි 1සිට)
  6. බැදපු සුදු ලුනු හකුරු සමග දීම.
  7. සුත්‍රිකා ස්‍රාවය හොදින් නොයාම - (කදගැට රුජාව) සුදු ලුනු, සතකුප්ප තම්බා බොන්නට දීම.
  8. කොහොඹ තෙල් දුම් ඇල්ලිම (විෂබීජ නාශක)
  9. සුදු ලුණු පොතු පුච්චා දුම් ඇල්ලීම.

අභිඝාත ජ්වර

මෙය ආගන්තුක ජ්වර ඝනයෙහි ගැනේ.

  1. වෙණිවැල් ගැට, කොත්තමල්ලි, තම්බා ‍ෙපරා බුද්ධරාජ කල්කය හෝ නවරත්න කල්කය දිය කර දීමත්,
  2. මිදි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, බෙලි මුල්, රසකිද, නෙල්ලි, කොත්තමල්ලි කෂාය කර දීමත් හාතය.
  3. වැල්මී, කහ, වෙනිවැල් ගැට, පලොල් මුල්, ඇසළ, කලාඳුරු, කොහොඹ, නාමුල් කෂාය
  4. හිංගුලේෂ්වරය හෝ සීතාරාමය හෝ නවරත්න කල්කය ඉගුරු ඉස්මෙන් දීම

 

රෝග උපද්‍රව වශයෙන් ඇතිවන උණට

මුලික රෝගයට ප්‍රතිකාර කරන අතර, උපද්‍රවයට ප්‍රථමාධාර කළ යුතුය. සියලු පරිනාමයට ගිය විශේෂයෙන් ග්‍රහණි ආදී රෝග වලදී, වා. පිත් හා සෙම් තුනම කෝප වූ කළ ඖපද්‍රවික ජ්වර හට ගනී. ග්‍රහණියට උණ හට ගැනීමක් නැත. එයට උණ ඒනම් එය උපද්‍රවයකි. උණත් සමග ග්‍රහණියට පවත්නා මල භේද ඇතිවිට ජ්වර අතීසාරයට මෙන් ප්‍රතිකාර කළ යුතුයි.

  1. බෙලිමුල්, ඉරිවේරිය, කලාඳුරු අල, කොත්තමල්ලි, වියළි ඉගුරු, කෂාය කර මී පැණි දමා දීම,
  2. තිප්පිලි, තිප්පිලි මුල්, ඉගුරු කබලෙන් බැද කුඩු කර කෝපි මෙන් වත්කර මී පැනි දමා දීම මැනවි.

 

ලාක්ෂණික ජ්වර

රෝග ලක්ෂණයක් වශයෙන් ජ්වර තාපය ඇති වු විට මුලික රෝගයට ප්‍රතිකාර කරන අතර, අතිරේක චිකිත්සාවක් උණ බැසීම සදහා  කටයුතුය. (කඵ ජ්වරයේදී ප්‍රතිශ්‍යා උණ) කඵ හෙවත් සෙම් කෝපයට හිත කෂාය දෙන අතර, අතරට එළබටු දළු, ආඩතෝඩා දළු, නික දළු, කිරි අගුන දළු, අමු ඉගුරු, සුදු ළුණු කොටා වන්ඩුවේ තම්බා මිරිකා පෙරා ඇඹුල් දොඩම් ඉස්ම , සීනි, මී පැණි දමා බුද්ධ රාජ කල්කය දිය කර බීම හොදය.

ආසාදන ජනිත ජ්වර

ආසාදන නිවාරක ජිවාණු නාශක චිකිත්සා කටයුතුය. නිදර්ශන වශයෙන් විශාණු ආසාදනයක් නිසා හට ගන්නා සංක්‍රාමක යකෘත් ප්‍රදාහ (බෝ වෙන සෙංගමාලය) යේදී අස්වැන්න, පොල්පලා, එලබටු මුල්, කටුවැල් බටු, නෙරෙංචි, දියමිත්ත දඩු, කටුකරෝසණ, නෙල්ලි, මුද්‍රපලම්, රසකිද කෂාය කර දීමෙන් ආසාදන නිවාරනයට පත්ව ජ්වර තාපය බහී. කටුකරෝසන වල පවත්නා පිත්ත නිස්සාරක ගතිය නිසා යකෘත් ශෝථය අඩුවේ. යකෘත් ශෝථය අඩු වීමෙන් උණ බසී.

ආරෝග්‍ය වර්ධනී වටී

පථ්‍ය - හකුරු, මී පැනි, ශර්ක (ග්ලුකෝස්) පලතුරු යුෂ තැඹිලි වතුරට දමා දීම, බෙහෙත් කැද, කෝමාරිකා පල්ල පලා මුං ඇට දමා උණ අළු පල්ලේ දමා දීම, සැවැන්දරා කැද, හීන් බෝවිටියා පංචාංගය කැද, රතු ලුනු අමුවෙන් කෑම.

  1. අපථ්‍ය - තෙල් සහිත ආහාර

විශජ ජ්වර

විෂ හේතුවට අනුව චිකිත්සා කටයුතුය. ජිවානු විෂක් නම් ජීවානු නිවාරක ප්‍රතිකාර කළ යුතුය. ශරීරයේ තුවාළ හට ගෙන ආසාදනය සහිතව ග්‍රන්ථි ශෝතයක් ඇතිව උණක් ගත් විට

  1. වෙනිවැල් ගැට, කොත්තමල්ලි, තැම්බු වතුර බෙ‍ාන්නට දීම
  2. කොහොඹ නැටි, දුම්මැල්ල, ඉගුරු, කලාඳුරු අල, වෙනිවැල් ගැට, කොත්තමල්ලි, කොහොඹ පොතු කෂාය කර දීමත් හිතකර වන්නේ ජ්වරස්න හා නිවාරක ඖෂධ ඒ කෂායෙහි අන්තර්ගත නිසාය.

 

පර්ශ්‍රමජ ජ්වර

වෙහෙස මහන්සි වී පරිශ්‍රම හේතු කොට ගෙන ඇතිවන ජ්වර නිරාමජ වාත ජ්වර වලට අන්තර්ගතය. එය චිකිත්සා කළ යුත්තේ නිරාම වාත ජ්වරයට මෙනි. වාත ශාමක ජ්වර චිකිත්සා යෙදිය යුතුය.

  1. බෙලි මුල්, මිදි මුල්, පලොල් මුල්, ඇද්දෙමට මුල්, රසකිද, තොටිල පොතු, කොත්තමල්ලි, නෙල්ලි කෂාය දශ මුල
  2. ඉගුරු, කොත්තමල්ලි කෂාය
  3. බෙලි මුල්, අරත්ත අල, බැබිල මුල් කෂාය
  4. දේව ‍දාර, බැබිල මුල් කෂාය
  5. හිංගුලේශ්වර රස- ඉගුරු යුෂින් (ගුලි 1 සිට)

 

ඩෙංගු උණ - (දණ්ඩික ජ්වරය) ඉන්ෆ්ලුවෙන්සාව

  1. ඇද විවේකය
  2. පිරිසිදු වාතාශ්‍රය
  3. ඉගුරු, කොත්තමල්ලි, තිප්පිලි පේයාව දින 3ක්
  4. ආමලකාදී චුර්ණය - නෙල්ලි, රත්නිටුල්, අරළු, තිප්පිලි, සහිද ලුනු පේයාව
  5. නාගරාදී පංචකය, (ඉගුරු, කොත්තමල්ලි, කලාඳුරු අල, ඉරිවේරිය, බෙලිමුල්) කෂාය.
  6. අතරට රාමබානරස හෝ මෘත්තුංජය ගුලි 4ක්
  7. බුද්ධ රාජ කල්ක, ඇඹුල් දොඩම්,  ඉගුරු යුෂ, සමග කොත්තමල්ලි ඇට 2ක ප්‍රමාණය
  8. අතිශයින් උණුසුම් දියර අත්‍යවශ්‍යයි.

උණට යෝග්‍ය විහරණය (පාවිච්චිය)

  1. ඝන ආහාර නැවැත්වීම හෝ පාලනය කිරීම
  2. විවේකය
  3. උණුදිය, උණුසුම් පාන බීමට දීම
  4. විනාකිරි, ඕඩිකොලොන්, ආදී සිසිල් ද්‍රව හිසට දැමීම
  5. ලුණු කැද බීම, එළවළු සුප් ආදී සුප් වර්ග දීම
  6. අවශ්‍ය පරිදි සීතල පානීය වර්ග දීම (දාභජවර)
  7. ඇල්දිය පාවිච්චිය, වෙහෙස වී වැඩ කටයුතු වල යෙදීම, දිරවීමට අපහසු ආහාර පාන ගැනීමෙන් වැළකිය යුතුයි.

ජ්වර පිළිබද සැලකිය යුතු කරුණු

ජ්වර හෙවත් උණ වෙනත් රෝගයක ලක්ෂණයක් වශයෙන්ද ඇතිවන බව මතක තබා ගත යුතු කරුණකි. ආයුර්වේද පොත් පත් වල ජ්වරය වෙනත් රෝගයක රූපයක් හෝ පෙර රූපයක් ලෙස ඇතිවන අවස්ථා ගැන කරුණු රාශියක් පෙන්වා දී තිබේ. මේ නිසා ප්‍රතිශ්‍යාව, විසප්පු ආදී වණ, තුවාල, වැටීම, බිදීම, ආදී පැහැදිලි හේතුවක් නොමැතිව උණ හට ගන්නා විට වඩා සැලකිලිමත් විය යුත්තේ උණ හට ගත් හේතුව දැන ගැනීමටයි. මෙය වෛද්‍යවරයෙකුට වින‍‍ා සෙසු පුද්ගලයෙකුට කළ නොහැකි විනිශ්චයකි. ඒ නිසා එබදු සෑම අවස්ථාවකදීම අත් බෙහෙත් කරමින් රෝගිය‍ා නිවසේ තබා නොගෙන ඔහුව වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගත යුතුය.

ආයුර්වේද මතය අනුව උණ රෝගය හටගත් විට ආහාර දිර වීමේ ශක්තිය අඩුවී යයි. උණ රෝගියාට ආහාර රුචිය නැති වීම සිදුවන බවද කවුරුත් දන්නා කරුණකි. එයින්ද පෙනී යන්නේ ශරීරය ආහාර බල‍ාපොරොත්තු නොවන බවයි. එහෙත් ජ්වරය පිත්තජ රෝගයක් නිසා පිතේ පවතින ධාතු කොටස් පැසවීමේ ක්‍රියාව ශීඝ්‍රයෙන් සිදුවන හෙයින් උණ රෝගය පවතිද්දී වුවද ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා දීය යුතුය. මේ නිසා පහසුවෙන් දිරවිය හැකි වුත්, ඝන ස්වභාවයන් නොමැති වූත්, පෝෂණ ගුණය වැඩි දියර ආහාර වර්ග දීමේ  තහනමක් නැතිවා පමණක් නොව එය අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

පසුව ජ්වර තත්වය ක්‍රම ක්‍රමයෙන් පසුබැස යන විට, රෝගියා ආහාර ගැනීමට රුචියක් දක්වයි. මෙම රුචියේ හෝ කැමැත්තේ ප්‍රමාණය අනුව රෝගියා ක්‍රම ක්‍රමයෙන් දියර ආහාරයේ සිට ඝන ආහාරය දක්වා පුරුදු කළ යුතුය.

බත්, ව්‍යංජන, මස්, මාළු වැනි ඝන ආහාරයේ පමණක් පෝෂ්‍ය ගුණය අඩංගුව ඇතැයි සැලකීම අප අතින් නිතරම සිදුවන වැරුද්දකි. ආයුර්වේද මෙන්ම දේශීය වෙද පොත්පත් වල ආහාර වර්ග හා නොයෙක් රෝග අවස්ථා වලදී ඒ ඒ ආහාර වර්ග පිළියෙල කර ගන්නා අන්දම පිළිබද කරුණු රාශියක් පෙන්වා දී තිබේ. මේ පිළිබද නිවැරදි අවබෝධයක් ඇත්තේ වෛද්‍යවරයා හටම හෙයින් උණ රෝගියෙකුට ආහාර පාන දීම පිළිබදව වෛද්‍යවරයෙකු ගෙන්ම උපදෙස් ලබා ගැනීමය.

ජ්වරයට පොදු ඖෂධ

පර්පටාද්‍ර්‍යරිෂ්ටය, අමෘතාරිෂටය, පිප්පල්‍යාද්‍යාසවය, සීතාරාම වටී, ශ්‍රීමෘත්‍යුංජයරස, රාමබාන වටී. බුද්ධ රාජ කල්කය, සුරසාදී පේයාව.