ස්වාස්ථ්‍ය පවත්වා ගැනීම

ස්වාස්ථ්‍ය පවත්වා ගැනීම පිළිබද ආයුර්වේදයේ දක්වන්නේ, ශරීරයත්, මනසත්, පිරිසිදුව තබා ගැනීමයි. ශරීරය පිරිසිදුව තබා ගැනීම සදහා බාහිර සහ අභ්‍යන්තර සෞඛ්‍ය ක්‍රියා ගැන දක්වා ඇත. බාහිර සෞඛ්‍ය ක්‍රියා වශයෙන් දත් මැදීම, දිව මැදීම, උගුර මැදිම, අත් පා මුහුණ ආදිය සේදීම, නෑම ආදිය විස්තර කළ හැක. දත් මැදීමට ගත හැකි හොදම දෙයනම් දැහැටි කූරයි.  මේ සදහා නුග, කරද, වැටඑඩරු, පිලදණ්ඩක් හෝ මුලක් ගත හැකිය. දිව සහ උගුර මැදීම අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ සදහා ලුණු කුඩු ගැනීම හොදය. දිනපතා ආහාර ගත්තාට පසුව දත් මැදිය යුතුය. විශේෂයෙන්ම රාත්‍රියට ආහාරයෙන් පසු දත් මැද බුලත් විටක් කනවා නම්, දත් රෝග කිසිවක්ඇති නොවේ. බුලත් විටක් දෙකක් කෑම ශරීරයට අහිතකර නොවේ. මුඛයේ ඇති නොයෙක් අහිතකර ජීවානු නැසීමට බුලත් විටට හැකිය. නිතර ලුණු වලින් උගුර මදිනවානම් උගුරේ සෙම් ගෙඩි ආදිය ඇති නොවේ. නෑමෙන් ශරීරය පිරිසිදු වේ. බලය වැඩි වේ. හොදින් නින්ද යෑමට උදව් වේ. බඩගිනි වැඩේ.

අභ්‍යන්තර ශෝධන විධි නම්, බඩ විරේක කිරීම, නස්‍ය කිරීම, ඇසට බෙහෙත්දැමීම ආදිය වේ.

අවුරුදු දෙකකට පමණ වරක් බඩ විරේක කිරීම  ශරීර සෞඛ්‍යට හිතය. ශරීරයේ නොයෙක් රෝග මින් පහව යයි. විරේක කරන දිනට පෙර රාත්‍රියේ ලඝු ආහාරයක් ගත යුතුය. උදේට විරේක බෙහෙත් ගත යුතුය. උදේට ආහාර නොගත යුතු අතර, ලුණු වතුර, තැම්බුම් හොදි, තේ වතුර ආදි දියර වර්ග හැකිතාක් ගත යුතුය. දවල්ට හා රෑට තැම්බුම් හොදි සමග බත් වැළදිය යුතුය. ඇල් වතුර නොගත යුතු අතර එදින හැම විටම ගත යුත්තේ උණු වතුරයි.

සුඛ විරේකයන් සදහා - අරළු කලං 6යි, සුකිරි කලං 6යි, මෙය කුඩු කර උතුරන වතුර කෝප්පයක් දමා රැයක් වසා තබා පෙරා රැගෙන උදේ හිස් බඩ දිය යුතුය. මෙය වතුර වෙනුවට තැඹිලි ගෙඩියක දමා සකස් කර ගත හැකිය. එය ඇල් විරේකය නමි. පිත් අධික ඇත්තන් හා එම රෝග වලින් පෙලෙන්නන්ට මෙය වඩාත් හොදයි.

ප්‍රතිශ්‍යාව සැදි එය පැසවා ගිය පසු නස්‍යයක් කරවා ගැනීමද හොදයි. ඒ සදහා කෝලශෙලෙස්මාවා හෝ සර්වවිෂාදි තෙල් බිංදු 6ක් පමණ එක් නාස් පුඩුවකට දමා හොදින් උරා සෙම උගුරට කාරා දැමිය යුතුය. නස්‍ය කිරීමට පළමු මුහුණ සහ බෙල්ල උණු වතුරින් තවා ගැනීම හොදය. ඊට පසු ඇදක දිගා වී කිසිවෙකුට හෝ කියා තෙල් බිංදු 6ක් පමණ නාසයට දමා ගන්න. සර්වවිෂාදිය වැනි තෙල් වලින් නස්‍යය කළ පසු සමහර විට වමනය ද යයි. එය වඩාත් හොදයි. බෙල්ල ප්‍රදේශයේ රැදී ඇති සෙම බුරුල් වී එසේ පිටවීමෙන් වමනයද ස්වල්පයක් පිට වේ.

මෙසේ නෂ්‍යය කිරිමෙන් නිතර නිතර ප්‍රතිශ්‍යා ඇති වීම, මුහුණේ කළු ලප ආදිය ඇති වීම, කුරුලෑ බිබිලි ඇති වීම ආදි රෝග සුව වේ. මුහුණ පැහැපත් වේ. දෑස දීප්තිමත් වේ.

ඇසට නෑමට පෙර පිරිසිදු දෙහි යුෂ බිංදුවක් දැමීමද, කදුළු ගලා ඇස පිරිසිදු වීමට හොද උපක්‍රමයකි. ඉදහිට සැවැන්දරා, සුදුහදුන්, පොල්පලා, නීරමුල්ලිය වැනි ඖෂධ වර්ග තම්බා පානය කිරීමෙන් ලේ පිරිසිදු වී සම පැහැපත් වේ.

ශාරීරික පිරිසිදු කම මෙන්ම ඊටත් වඩා ශ්‍රේෂ්ඨ මානසික පාරිශුද්ධ භාවයයි. නිරෝගී සැපවත් ජීවිතයකට මෙය ඉතා වැදගත්ය. ආයුර්වේදයේ දක්වා ඇත්තේ සත්වයන්ට පමණක් නොව ගහකොළ වලට පවා මෛත්‍රිය, කරුණාව දැක්විය යුතු බවයි. මෛත්‍රිය නම් මිත්‍ර භාවයයි. තමා මෙන්ම අනික් අයත් දුක, වේදනාව, භය, ශෝකය නින්දා විදීමට අකමැති බව තේරුම් කර ගැනීමෙන් මේ මිත්‍රභාවය හිතේ ඇතිකර ගත හැකිය. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, භය, දුක, දොම්නස, අසහනය ආදි මානසික හේතු ශාරීරික රෝග වලට හේතු වනබව පළමුවෙන්ම පෙන්වා දී ඇත්තේ ආයුර්වේදයේය.

ඉහත කී මානසික හේතු නිසා කොයිතරම් හොද පථ්‍ය ආහාර ගත්තත් එය හොදින් දිරවන්නේ නැත. එයින් ආමය ඇතිවේ. එසේ හට ගන්නා ආමය නොයෙක් රෝගයන්ට හේතු වේ. අම්ල පිත්ත, ආමාශයක්ෂත, මලබද්ධයථ අතීසාරය, ග්‍රහණි චර්ම රෝග, හෘදය රෝග, ආමාශයේ හා අන්ත්‍ර වල නොයෙකුත් රෝග, ශීර්ෂරුජා, ශරීරයේ නොයෙක් වේදනා දෙන රෝග රාශියක් මානසික හේතූන් නිසාම ඇතිවේ. එහෙයින් නිරෝගී ජීවිතයකට මේ මානසික දෝෂ හැකිතාක් අඩුකර ගත යුතුය. මනසේ තත්ව තුනක් ඇත. එනම් සත්ව, තමස්, රජස් යනුවෙනි. ශරීරයේ වාත, පිත්ත, කඵ යන දෝෂයන් ඇත්තාක් මෙන්ම මනසේ මෙම ගණත්‍රය පිහිටා ඇත. සත්ව ගුණය යනු ශාන්ත ප්‍රිය වචන කථා කිරීමට ඇති කැමැති දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම, යමක් අවබෝධ කර ගැනීමේ ශක්තිය, මතක තබා ගැනීමේ ශක්තිය, තමාටත් තමා උපන් පරිසරයට සේවයක් කිරීමට ආශාව ආදී චිත්ත පරම්පරාව ගෙන දෙන ගුණයයි. මේ ගුණය වඩන ආහාර වර්ගද පැවතුම්ද ඇත.

සත්ව ගුනය වඩනආහාර අතර කිරි, ගිතෙල්, ගොටුකොළ, දියලබු, පුහුල්, නෙල්ලි, ශ්‍රේෂ්ඨ වේ. රජස් ගුණය අප තුළ ඇති ආශාව, එකතු කිරීමේ කැමැත්ත, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අනුන්ගේ සැපතේදී කෝප වීම, වෛරය ආදී සිතුවිලි පරම්පරාවයි. මස් වර්ග මද්‍ය ආදී ආහාර වර්ග මෙම ගුණය වඩයි.

කම්මැලි, නිද්‍රාශිලී කුසීත කිසිවක් කිරීමට උද්‍යෝගයක් නැති, සිතීමට අකමැති ගුණය, තමස් ගුණය නමි. දහවල් නිදීම අධිකව මී කිරි කෑම, මී හරක් මස් , සුරා වර්ග, මෙම ගුණය වඩාලයි.

ආයුර්වේදයේ නිරෝගී ජිවිතයකට ඉතාමත් වැදගත් වන කරුණු දක්වා ඇත්තේ “ සද්වෘත්ත ” යේය. සද්වෘත්ත නම් හොද පැවැත්මයි. එහි දක්වා ඇති කරුණු මංගල සුත්‍රයේ ඇති කරුණු  වලට සමානය.

පිදිය යුත්තනුට පිදීම, සියළු සතුන්ට මෛත්‍රි කිරීම, බාලයන් ඇසුරු නොකිරීම, ප්‍රසන්න දේශයක වාසය කිරීම, ඉවසීම, පවුකම් කිරීමේ දී හැර බහුමතයට එකගවීම ආදී කරුණු රැසක් මෙහි විස්තර කර ඇත.

ආහාර පාන ගැනීමේදි කරන්නා වූ වැරදි කිහිපයකි

  1. ඉක්මනින් ආහාර ගැනීම, ආහාර හොදින් සපා කෑ යුතුය. එය දිරවීමට පහසු වේ
  2. ආහාර ගත් පසු අධිකව දිය බීම.
  3. ආහාර ගන්නා විට ක්‍රෝධය, දුක ගෙනදෙන ප්‍රශ්න කථා නොකළ යුතුය. ශාන්තව සතුටින් ආහාර ගත යුතුය.
  4. හැකිතාක් සිත් ගන්නා පරිසරයක සිට ආහාර ගත යුතුය.
  5. මාළු සහ කිරි එකට ගැනීම ආයුර්වේදය අනුමත නොකරයි. එම වර්ග දෙකම සෙම වඩන නිසා ඒ දෙක එකට ගැනීමෙන් නොයෙක් සෙම් රෝග ඇති වීමට හේතු වේ.
  6. රාත්‍රියට මුදවාපු කිරි කෑම අහිතය. රාත්‍රි කාලය සෙම වැඩෙන කාලයයි. මී කිරිද සෙම වඩන ආහාරයකි. ශරීරයේ ඇති සියුම් ශ්‍රෝතස් (සිදුරු) අවරෝධ කරයි.
  7. අද සෑම ගෙදරකම වාගේ අයිස් පෙට්ටි (ශිතකරණ) ඇති නිසා සෑමවිමට ශීතල වතුර බීම පුරුද්දක් කර ගෙන ඇත. ග්‍රිෂ්ම කාලයේ  දී සීතල වතුර බීම නරක නැත. එහෙත් ප්‍රතිශ්‍යා වැනි රෝග අවස්ථාවලදී බාලකාලය වැනි කඵ වැඩියෙන් බලපවත්වන කාලයේ දීත් මෙම සීතල වතුර නිතර නිතර බීම රෝග කාරකය. අද කුඩා ළමයි‍න්ගේ සෙම්ගෙඩි රෝග අධිකය. ඊට එක් හේතුවක් නම් අයිස් වතුර බීමයි. ඒ තුළ වු දිනගණන් පරණ වූ සම්පාදිත ආහාර බුදීම ආමරෝග හේතුවකි.

අපේ පැවැත්මේ වැරදි

  1. ආහාර ගත් හැටියේ නිදා ගැනීම හෝ ඉදගෙන සිටීම,බොහෝ අය මෙය පුරුද්දක් කරගෙන සිටිති. ආහාර ගත් පසු විනාඩි 10ක් වත් ඇවිදීම ඉතා ‍ෙහාදයි.
  2. බොහෝ අය විදුලි පංකා උපරිම වේගයෙන් කැරකීමට සලස්වා ඒවා යටට වී නිදයි. බොහෝ විට ශරීරයේ වේදනා ගෙන දීමත්, සන්ධිවල වේදනාවටත් හේතු වේ. මුලින් කී හේතු අස් නොකර කොපමණ බෙහෙත් ගත්තත් රෝගය සුව නොවේ. මෙසේ පංකා යට නිදා ගන්නා කුඩා ළමයින්ට නිතර ප්‍රතිශ්‍යා, කැස්ස වැළදේ. සමහර ළමයින්ට  සුව කිරීමට බැරි තරම් කැස්ස පවතී.
  3. ආහාරයට පසු දත් මැදීම සෑම ප්‍රධාන ආහාර වේලකටම පසු දත් මැදීම කල නොහැකි නම් යටත් පිරිසෙන් හොදින් කට සෝදා දැමීමවත් කළ යුතුය. රාත්‍රි ආහාරයෙන් පසු නම් දත් මැදිම අනිවාර්යයෙන් කළ යුතුය. දත් දිරා යෑම වැළැක්වීමට මෙය මහගු පියවරකි.
  4. මල මුත්‍ර වේග දැරීම බොහෝ විට ලැජ්ජාව නිසා හෝ බිය නිසා මෙවැනි වේග දරා සිටී. එයින් මුළු ශරීරයේම වායුව කෝප වේ. එය නොයෙක් රෝගයන්ට හේතු වේ. එහෙයින් මල මුත්‍ර කිවිසුම් වේග ආ විට ඒවා පහ කළ යුතුය.
  5. බොහෝ විට අපි නොයෙක් දෝෂවලට ලක්වේ. ඒවා නම් ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, මාන්නය ආදිය වේ. මේවායින් අපේ ලේ ධාතුව දූෂණය වේ. වෛරයෙන්, දුකෙන් ඉදගෙන කොපමණ හොද ආහාර ගත්තත් ඒවා හොදින් දිරවීමට නොයයි. එයින් ‍ෙනායෙක් රෝගයන්ට මුල පෑදේ. බොහෝ ශාරීරික රෝග මානසික හේතු නිසා ඇතිවන ඒවාය.